Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2021 14:38:08 Hours

යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රණක්‍ෂිතයට පත් තවත් විරුවෙකු විවාහ දිවියට

2009 මානුෂීය මෙහෙයුම් අතරතුර එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව නිර්භීතව සටන් කරමින් සිටියදී දකුණු කකුල අහිමි වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රණක්‍ෂිතයට පත් තවත් විරුවෙක් (08) දින බැළුම්මහර පිහිටි සෙනෙත්මා උත්සව ශාලාවේදී හමුදා චාරිත්‍රානුකූලව විවාහ දිවියට ඇතුළත් වූයේය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම විවාහ මංගල අවස්ථාවට සම්භාවනීය අමුත්තෙකු ලෙස සහභාගී වූයේය.

රණක්‍ෂිතයට පත් උඩුගම පදිංචි කෝප්‍රල් සම්පත් ඩබ්ලිව්.පී.පී යුද වීරුවාගේ විවාහ මංගල උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ගේ උපදෙස් මත හා සියනෑවේ අපි සංවිධානය හා එක්ව සියලු උත්සව කටයුතු සූදානම් කර තිබුණි.

කෝප්‍රල් සම්පත් ඩබ්ලිව්.පී.පී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට 2007 වර්ෂයේ එක් වූ අතර මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී 2009 අප්‍රේල් මස 24 දින පුද්ගල නාශක බෝම්බයකට ගොදුරු වීමෙන් පාදයක් අහිමි වී හමුදා රෝහලට ඇතුලත් කළ අතර ඉන් අනතුරුව යුද්ධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියදී මුණගැසුනු සිය පෙම්වතිය සමඟ විවාහ ගිවිසගැනීම සඳුදා (08) දින සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආබාධිත රණවිරුවා වෙනුවෙන් විවාහ මංගල්‍යයට සහභාගී වූ අතර මනාලියගේ ඥාතීන් සහ සීමිත ආරාධිත අමුත්තන් පිරිසක් මීට සහභාගී වූහ. ප්‍රධාන ආරාධිත අමුත්තා විවාහ ගිවිසගත් නව යුවළට සිය සුබ පැතුම් පිරිනැමීමෙන් පසු නව යුවල වෙත වටිනා තිලිණයක් ද ප්‍රදානය කළේය. කෝප්‍රල් සම්පත් ඩබ්ලිව්.පී.පී 2017 වසරේ ඉතාලියේ පැරා මළල ක්‍රීඩා ඔරු පැදීමේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ‘සියනෑවේ අපි’ සංවිධානයේ කැපවීම මත විවාහ මංගල උත්සවයේ සියලු සංවිධාන කටයුතු සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ, යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර සහභාගී වූහ. Adidas shoes | adidas Yeezy Boost 350