Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2021 08:37:54 Hours

ආරක්‍ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේවා විද්‍යාලයේ පැවැති උත්සවයකදී විශ්‍රාමික නිලධාරීන්ට නව නිල ඇඳුමක් හඳුන්වාදෙයි

'සොල්දාදුවෙකු' ජීවිත කාලය පුරාවටම සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වන අතරම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික විරෝදාර රණවිරුවන්ගේ වෘත්තීමය ප්‍රතිරූපය, පෙනුම සහ ගෞරවය තවතවත් නිරූපණය කරමින් සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සියලුම විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හඳුන්වාදී ඇත.

ඒ අනුව, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට ජාතික උත්සව, සේවා උත්සව හෝ හමුදාමය නොවන උත්සවයන් සඳහා පැළඳීමට නව නිල ඇඳුම් කට්ටලය හඳුන්වාදීමේ උත්සවය අඟහරුවාදා (02) දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක ලේකම් සහ ජාතික ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහභාගී විය.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ සංගමයේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) උපුල් පෙරේරා සහ එම සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න උණූසුම් අයුරින් පිළිගනු ලැබීය.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අවුරුදු 10 ත් 12 ත් අතර සේවා කාලයක් සම්පූර්ණ කර වෛද්‍ය හේතුන්මත යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබු විරෝදාර රණවිරුවන්, විදේශ මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ විශේෂ අවශ්‍යතා මත නැවත සක්‍රීය සේවයට කැඳවූ රණවිරුවන් ඇතුලු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ සංගමයේ ලියාපදිංචිව සිටින සියලුම රණවිරුවන්ට මෙම නව නිල ඇඳුම් කට්ටලය පැළඳීමේ වරප්‍රසාදය හිමි විය. ඒ සඳහා නිල ඇදුම් රෙගුලාසි සකස් කර මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.

එමෙන්ම, යුදබිමේදී දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්ට හෝ ළඟම ඥාතීන්ට නීති රෙගුලාසි වලට අනුකූලව ජාතික ඇඳුම, සාරි හෝ කමිසය / කලිසම් / බ්ලේසර් සමඟ දිවිපිදු රණවිරුවන්ගේ පදක්කම් පැළඳීමට හැකියාව ලබාදී ඇත.

පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරම්භ කෙරුණු නව නිල ඇඳුම හඳුන්වාදීමේ මෙම සුවිශේෂි උත්සවයේදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළ අතර නව නිල ඇඳුමේ නිවැරදි වර්ණ සහ අනෙකුත් ආයිත්තම් පිළිබඳ හඳුන්වාදීමේ කෙටි විඩියෝ පටයක් ද මෙහිදි ප්‍රදර්ශනය කෙරිණි. ඉන් පසුව, උත්සවයේ පිළිගැනීමේ දේශනය ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය විසින් සිදුකරන ලදී.

පසුව, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) උපුල් පෙරේරා විසින් සියලුදෙනා අමතමින් පළමු වරට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික විරෝදාර රණවිරුවන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ එහි වැදගත්කම පිළිබඳව විස්තර කළේය. නව නිල ඇඳුම හඳුන්වාදීමේ සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින්, ප්‍රථමයෙන් හිස්වැසුම ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පැළඳවිය. පසුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්ගේ සුරතින් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු වෙත නව නිල ඇඳුම හඳුන්වාදීම සනිටුහන් කරමින් හිස්වැසුම් පැළඳ වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පැමිණ සිටි පිරිස අමතමින්, හමුදා සාමාජිකයෙකුට නිල ඇඳුමේ ඇති ගරුත්වය සහ එහි අගය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර එය විශ්‍රාම යන මෙහොතේදී පවා වැදගත්වන බව පෙන්වා දුන්නේය. නිල ඇඳුම් පැළදීම පිළිබඳ දක්වා ඇති නීති රෙගුලාසි විශ්‍රාමික සෑම සේවාවකම රණවිරුවන් හට එක හා සමාන වන බවත් නිල ඇඳුම් පැළදීම ඒ ඒ අවස්ථානුරූපීව පැළදිම කල හැකි බවත් පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන රැසක් සහභාගි වූහ. Sportswear Design | Women's Nike Superrep