Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 07:42:26 Hours

සම්බෝධි විහාරයේ සහ බෞද්ධයා නාලිකාවේ අනුග්‍රහය ඇතිව කොළඹ යුද්ධ හමුදා රෝහල ජෛව ආරක්‍ෂණ කැබිනට්ටුවක් පරිත්‍යාග කරයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු රෝගීන්ගේ PCR සාම්පල වාතයට නිරාවරණය නොවී රසායනාගාර තක්‍ෂණික ආරක්‍ෂාවක් සහිතව සිදුකරගැනීම සඳහා බෙහෙවින් අවශ්‍යව පැවැති ජෛව ආරක්‍ෂණ කැබිනට්ටුවක් බෞද්ධයා රූපවාහිනි නාලිකාව ශ්‍රී සම්බෝධි විහාරයේ දායක සභාව සමඟ එක්ව ඉකුත් අඟහරුවාදා (10) දින පස්වරුවේ කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.

බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්‍ෂ සහ සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ හිමියන් සහ දායක සභාවේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමෙන් අනතුරුව යුද්ධ හමුදා රෝහලට අවශ්‍යතාවයක්ව පැවැති ජෛව ආරක්‍ෂණ කැබිනට්ටුව පරිත්‍යාග කෙරිණි.

මේ වනවිට යුද්ධ හමුදා රෝහලේ PCR රසායනාගාරයේ දිනකට PCR පරික්‍ෂණ 500 ක් පමණ සිදුකරනු ලබන අතර මෙම විශේෂිත කැබිනට්ටුව රුපියල් මිලියන 2 ක පමණ වටිනාකමකින් යුතු අතර මේ කැබිනට්ටු සඳහා මේ වනවිට ලෝකයේ දැවැන්ත ඉල්ලුමක් ඇතිව තිබෙන නිසා මිලදී ගැනීම සඳහා දිගු කාලයක් පොරොත්තු ලේඛණවල රැදී සිටිය යු බව පැවසීය.

යුද්ධ හමුදාව වෙනුවෙන් මෙම කැබිනට්ටුව භාරගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පවතින කාලෝචිත අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන දැක්වූ දායකත්වය වෙනුවෙන් විහාරාධිපති හිමිපාණන්ට, විහාරස්ථානයේ දායක සභාවට සහ රූපවාහිනි නාලිකාවේ කළමනාකාරීත්වයට සිය කෘතඥතාවය පළ කළේය.

මෙම ජෛව ආරක්‍ෂක කැබිනට්ටුව මගින් එහි ක්‍රියාකරු රසායනාගාර පරිසරය මෙන්ම සාම්පල බාහිර පරිසරය සමඟ ප්‍රතික්‍රියා කිරීම වළක්වා ආරක්‍ෂිත පරිසරයක් ගොඩ නැගීම සිදුවේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් (වෛද්‍ය) සංජීව මුණසිංහ, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු, යුද්ධ හමුදා රෝහලේ කළමනාකාර අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වජිර කාරියවසම්, හමුදා මාධ්‍ය ප්‍රකාශක හා යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගී වූහ. Sport media | balerínky