Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2020 11:05:24 Hours

71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සියලු ආරක්‍ෂක සේනා මුලස්ථාන එක්වේ

කොවිඩ්-19 වෛරසය නැවත හිස එසවීමත් සමඟ 2020 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි තිබු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 71 වන සැමරුමට සමගාමීව සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි කෙටි උත්සව පැවැත්විණි.

ඒ අනුව, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ උත්සවයක් පවත්වමින් මූලස්ථාන සංකීර්ණය ඉදිරිපිටදී එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ විසින් යුද්ධ හමුදා ධජය ඔසවන ලදී. පසුව යුද්ධ හමුදා ගීතය ගායනා කර රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුහ. ඉන් අනතුරුව, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරී II (පරිපාලන) විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංවත්සර දින පණිවුඩය කියවන ලදී.

මෙම අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ඇතුළු සියලුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.

මේ අතර, 52 වන සේනාංකයේ උපදෙස් පරිදි එම සේනාංකය යටතේ ස්ථාපිත 521 වන බලසේනාවේ සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් යාපනය පූතූර්හි ශාන්ත ලූකස් වැඩිහිටි නිවාසයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

පැතිර යන කොවිඩ් - 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපදිමින් 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ, 521 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත පීරිස්, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් මේජර් ගීත් මූණගමගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

එමෙන්ම, 71 වන යුද්ධ හමුදා සංවත්සර දිනය සැමරීම වෙනුවෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ උපදෙස් පරිදි බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය ඔක්තෝබර් මස 10 වන දින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව වැඩසටහන් කිහිපයක් සංවිධානය කරනු ලැබිණි.

එදින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති සංවත්සර සැමරුම් උත්සවයේ ආරම්භය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් යුද්ධ හමුදා ධජය එසවීමත් සමඟින් සනිටුහන් වූ අතර එම අවස්ථාව වෙනුවෙන් එක් වූ සියලු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා ගීතය ගායනා කරමින් යුද්ධ හමුදා දින වැඩසටහන් ආරම්භ කරනු ලැබිණි.

ඉන් අනතුරුව, මිනිත්තු දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වමින් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන් වෙත සිය කෘතඥතාවය සහ ගෞරවාචාරය පිරිනැමූහ. මෙම අවස්ථාවේදී රැස්වූ සියල්ලන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංවත්සර දින පණිවුඩයට සවන් දුන්හ.

මේ අතර, 71 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති නිර්දේශ මත අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදුන් උසස්වීම් ලැබූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නියෝජ්‍ය සේනාවිධායක, මාණ්ඩලික නිලධාරි I (රණවිරු සේවා) සහ මාණ්ඩලික නිලධාරි III (විගණන) වෙත එදින පැවති උත්සවයේදි එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් විසින් නිල ලාංඡනයන් පළඳවනු ලැබීය.

එමෙන්ම, උසස්වීම් ලද මෙම රෙජිමේන්තුවේ සෙසු නිලයින් වෙත පිළිවෙලින් මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ පළමුවන ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරි I විසින් සිය උසස්වීම් ලබාගත්හ. එහිදී, බළලත් නිලධාරි I – 08 ක්, බළලත් නිලධාරි II – 69 ක්, මාණ්ඩලික සැරයන්වරුන් - 37 ක්, සැරයන්වරුන් - 300 ක්, කෝප්‍රල්වරුන් - 395 ක් සහ ලාන්ස් කෝප්‍රල්වරුන් 667 ක් වශයෙන් සෙසු නිලයින් 1476 දෙනෙකු උසස්වීම් ලබාගත්හ.

මෙම අවස්ථාව වෙනුවෙන් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, මාණ්ඩලික නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසු නිලයින් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ.

මේ අතර, යුද්ධ හමුදා 71 වන යුද සංවත්සරය සනිටුහන් කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් යුද්ධ හමුදා දිනයේ දී (10) තවත් ව්‍යාපෘතීන් දියත් කරනු ලැබීය.

එහිදී සිදුකළ වැඩසටහනේ ප්‍රධානතම අංගය වශයෙන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට ආසන්නයේ පිහිටි ‘සෙනුර උයනෙහි’ අඹ සහ කොස් පැළ 2000 ක් සිටුවනු ලැබීය.

ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති පළමු පැළය සිටවූ අතර, ඉන් පසුව මාණ්ඩලික නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද ඒ වෙනුවෙන් සිය දායකත්වය දැක්වූහ.

එමෙන්ම, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ද යුද්ධ හමුදා දිනය වෙනුවෙන් (10) තවත් වැඩසටහන් දියත් කරනු ලැබීය.

එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යුද්ධ හමුදා සංවත්සර දිනය (10) සනිටුහන් කරමින් පැවැත්වූ උත්සවය යුද්ධ හමුදා ධජය එසවීම, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංවත්සර දින සැමරුම් පණිවිඩය කියවීම සහ පැළ සිටුවීම ආදී අංගයන්ගෙන් සමන්විත විය.

මෙම උත්සව අවස්ථාවන් සඳහා බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් පියල් නානාක්කාරවසම්, බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි බ්‍රිගේඩියර් සුගත් රත්නායක, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වෙච්ඡා) බ්‍රිගේඩියර් නිහාල් සමරවික්‍රම, නිලධාරින් සහ සෙසු නිලයින් ද සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් පිළිපදිමින් සහභාගී වූහ.

තවද, කොස්ගම පිහිටි යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන මූළස්ථානය ද තවත් වැඩසටහන් කිහිපයත් දියත් කරමින් යුද්ධ හමුදා සංවත්සරය සැමරීම වෙනුවෙන් සිය දායකත්වය දැක්වූහ.

එහිදී, භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.

එමෙන්ම, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 591 වන බලසේනාවට අනුයුක්ත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ඉකුත් සිකුරාදා (09) දින සිලාවත්ත ප්‍රදේශයේ පිහිටි ‘ලදනි’ ළමා නිවාසයේ වෙසෙන කුඩා ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි එම ළමා නිවාසයේ වෙසෙන කුඩා ළමුන් 20 දෙනෙකු වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාව වෙනුවෙන් 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්. රොද්‍රිගෝ ඇතුළු එම ඒකකයේ භටපිරිස් සහභාගී වූහ. Sneakers Store | Nike News