Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2020 13:16:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සිය රාජකාරි කටයුතු ආරම්භ කරයි

සීතාවක, කොස්ගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 43 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් සඳුදා (10) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී සිය රාජකාරි කටයුතු භාරගනු ලැබිණි.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් කැළුම් නුගේගොඩ විසින් නව සේනාවිධායකතුමන් ‘රෙන්ඩෙවිස්’ (Rendezvous) ක්‍රීඩාපිටිය වෙත කැටුව යාමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය.

ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව, මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව සේනාවිධායක තුමන් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් අමතමින් නව සේනාවිධායක තුමන් සිදුකළ පළමු දේශනයේදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අපේක්‍ෂාවන්ට අනුකූලව රටේ අවශ්‍යතා සපුරාලමින් යුද්ධ හමුදාවේ අභිමානය ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කරන ලදී.

නව සේනාවිධායකතුමන් රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුද කළ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. උත්සව කටයුතු අවසානයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයට එක්වූ නව සේනාවිධායකතුමන් හට සියලුදෙනා සිය සුබපැතුම් එක් කළහ.

නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කටයුතු සිදුකර තිබුණි. bridge media | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov