Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2020 11:45:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේදී නික්මයන සේනාවිධායකතුමන්ට ගෞරවාචාරය පිරිනමයි

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජායා, සිය ධූරයෙන් නික්මයාම වෙනුවෙන් පවත්වන ලද උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින පැවැත්විණි.

කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථාන පරිශ්‍රයට සපැමිණි සේනාවිධායකතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නික්මයන සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් කැලුම් නුගේගොඩ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ 42 වන සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ‘රෙන්ඩෙස්වස්’ (Rendezvous) ක්‍රීඩාංගණය වෙත කැටුව යාමෙන් අනතුරුව භටපිරිස්ගෙන් සැඳුම්ලත් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස මල් කලඹක් තබා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කළේය.

මීට වසර කිහිපයකට පෙර පතොරම් ගබඩා සංකීර්ණය පුපුරා යාමෙන් පසු විනාශයට පත්ව තිබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ යටිතල පහසුකම් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා විසින් එතුමන්ගේ ධූර කාළය තුළ වැඩිදියුණු කිරීමට මහත් වෙහෙසක් දරණ ලදී. නික්මයාමේ අවස්ථාව සනිටුහන් කරමින් සේනාවිධායකතුමන් විසින් කදවුරු පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදිකරනු ලැබු මුළුතැන් ගෙය සහ ලිපිගොනු අසුරා තැබිම් කාමරයේ සමරු පලකය නිරාවරණය කරමින් විවෘත කරනු ලැබීය.

සමුගැනීමේ උත්සව අවස්ථාව සනිටුහන් කරමින් සියළු නිලයන් ඇමතු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සේනාවිධායක ලෙස තම ධූර කාළය තුළ රාජකාරී මැනවින් ඉටුකිරීම සඳහා දැක්වූ සහයෝගය පිළිබඳව සියළු නිලයන් වෙත තම කෘතඥතාවය පළ කළේය. තවද එම මූලස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අනාගතයේදී තම අනුප්‍රාප්තිකයාට සහාය දෙන ලෙස ද එතුමන් සියලු නිලයන්ගෙන් ඉල්ලා සිටියේය.

දිනයේ වැඩසටහන නිමාවත් සමග ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ නික්ම යන සේනාවිධායකතුමන්වෙත නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විශේෂ සමරු තිළිණ පිළිගන්වනු ලැබූහ. Running sneakers | Archives des Sneakers