Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2020 11:45:23 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාචාර පිරිනැමෙයි

තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න වෙනුවෙන් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් බදාදා (29) දින ගෞරවාචාරය පිරිනැමිමේ උත්සවයක් මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සිය රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක විසින් ප්‍රධාන දොරටුව අභියසදී ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිළිගන්වනු ලැබීය.

ඉන් අනතුරුව එතුමන් රෙජිමේන්තුවට අයත් පරිවාරක රථ පෙරටුකොටගෙන සරඹ භූමීය වෙත කැටුව යනු ලැබුණු අතර, එහිදි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර විසින් එතුමන්ව උණුුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් රෙජිමේන්තු වර්ණ හා රෙජිමේන්තු සුරතලා වන කන්ඩුල හස්තිරාජයාද ඇතුලත්ව අභිමානවත් සම්මාන මුරයක් මගින් ආචාර පුදකරනු ලැබිණි.

ඉන් අනතුරුව, එතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත පූෂ්පෝපහාර පුද කළේය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් මූලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරිම ද එතුමන් අතින් සිදු විය.

අනතුරුව, වසර 35 කට නොවැඩි කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදු කළ නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත භටපිරිස් ඇමතීමට ආරාධනා කරන ලද අතර, එහිදි මේජර් ජෙනරල් ජයන්ත ගුණරත්න භටපිරිස් අමතමින් සොල්දාදුවන්ට දිගු කාලීනව සාර්ථකත්වයට පත්විය හැකි ආකාරය පැහැදිලි කරමින් කැපවීමෙන් යුතුව හමුදාව වෙනුවෙන් සිය රාජකාරි ඉටුකරන ලෙස භටපිරිස් දැනුවත් කළේය.

පසුව, සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ එතුමන්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් විසින් පවත්වනු ලැබු ‘විශේෂ රාත්‍රි සාදයට‘ සහභාගී වූ අතර එහිදි එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමිනි. එම අවස්ථාවේදී මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර විසින් එතුමන් වෙනුවෙන් විශේෂ දේශණයක් සිදු කරමින් දේශය සහ හමුදාව වෙනුවෙන් සිදු කළ අමිල මෙහෙවර වෙනුවෙන් තම කෘතඥතාවය විශ්‍රාම දිවියට එළබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත පළ කළේය.

මෙම විශ්‍රාම ගැන්වීම වෙනුවෙන් පැවැත්වූ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය චායා ගුණරත්න මහත්මිය ඇතුළු එම රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු සභා සාමාජිකයින්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. Sports Shoes | Sneakers