17th July 2020 20:47:28 Hours
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 17 කට වැඩි මුදලක් හමුදා සාමාජිකයින් වෙනුවෙන් පසුගිය මාස කිහිපය තුළ ලබාදී ඇති අතර, එම සුභසාධන කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාම වෙනුවෙන් සියළු වැඩ අවසන් කරනු ලැබු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ නව කාර්යාලයේ වැඩ කටයුතු අද (16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සිදු කරනු ලැබීය.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එම ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය කළ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර, එහිදී, ‘සෙත් පිරිත්’ සජ්ඣායනාවන් මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පීත්ත පටිය කපා නව කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරනු ලැබීය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව නිවාස ඉදිකිරීමට මූල්‍ය ප්‍රතිපාදන සැපයීම, මියගිය රණවිරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම, ආබාධිත රණවිරුවන්ට සහ දැනට සක්‍රිය සේවයේ නිරත රණ විරුවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් මිලදී ගැනීම,වෛද්‍ය උපාංග මිලදී ගැනීම,තුවාල ලැබූ රණවිරුවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සියලුම නිලධාරීන්ට සහ යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙන්ම හමුදා සේවයේ නියුතු සිවිල් සේවකයින්ට අවශ්‍ය ප්‍රතිලාභ රැසක් ලබාදී ඇත.
මෙම විවෘත කිරීමට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීමක් පැවැත්වූ අතර එහිදී, එළඹෙන වර්ෂය සඳහා (2020 - 2021) මෙම ඒකකයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ලබාදෙනු ලැබීය. මීට අමතරව, රුපියල් මිලියන 1.6 ක විටිනාකමකින් යුත් ගෘහ උපකරණ සහ ලී බඩු විශාල තොගයක් යුද්ධයෙන් මියගිය රණවිරුවන්, ආබාධිත රණවිරුවන් සහ ඔවුන් සමඟ සේවයේ යෙදී සිටි අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදෙනු ලැබීය.
එම අවස්ථාවේදීම, බරපතළ රෝගාතුර වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ බිරින්දෑවකගේ වෛද්‍ය වියදම වශයෙන් රුපියල් ලක්‍ෂයක මූල්‍යමය පරිත්‍යාගයක් මානුෂීය ආධාර ලෙස ලබාදෙනු ලැබීය. තවද, විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ උපාධියක් හැදෑරීමට සුදුසුකම් සහිත තවත් සිවිල් සේවකයෙකුගේ පුතෙකුට ඔහුගේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා රුකුලක් වීමේ අරමුණින් ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කරනු ලැබිණි.
එම ඒකකයේ සමාජ සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ එක් නිලධාරියෙකුට සහ තවත් සෙසු නිලයින් තිදෙනෙකුට තම නිවාසවල ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 350,000/= බැගින් ද පරිත්‍යාග කරනු ලැබීය.
මිනිත්තුවක නිෂ්ශබ්දතාවයකින් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තේමා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව පැවති මාසික රැස්වීමේදී නව නිලධාරී මණ්ඩලය අභිනවයෙන් තේරී පත්වූහ. ඒ අනුව, සාගර ගුණවර්ධන මහත්මිය උප සභාපතිනිය ලෙසත්, මායා ප්‍රනාන්දු මහත්මිය ලේකම් ලෙසත්, එච්.බන්සජයා මහත්මිය නියෝජ්‍ය ලේකම්තුමිය ලෙසත්, ප්‍රියදර්ශනී සිරිනාග මහත්මිය මහජන සම්බන්ධතා නිලධාරිතුමිය ලෙසත් තේරී පත්වූ අතර පනාගොඩ රූපලාවණ්‍යාගාරය භාර නිලධාරින් ලෙස කුමුදුනි වනිගසූරිය මහත්මිය සහ රමණි දෙමටන්පිටිය මහත්මියත් තේරි පත්වූහ. Adidas shoes | NIKE HOMME