Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2020 23:07:06 Hours

කොකාවිල් සටනේ 30 වන සංවත්සර දිනයේදී, දිවිපිදු විරුවන්ගේ අප්‍රතිහත කැපකිරීම යළි යළිත් උපහාරයක් වේ

වර්ෂ 1990 ජූනි මස 27 සිට ජූලි මස 11 වැනිදා දක්වා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් සුප්‍රසිද්ධ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සහ හමුදා කඳවුර ආරක්‍ෂා කරගැනීම සඳහා උත්තරීතර කැපකිරීමක් සිදුකළ විරෝදාර රණවිරුවන්ගේ මතකයන් ආවර්ජණය කිරීමේ විශේෂ උත්සවයක් අද (11) දින පස්වරුවේ කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදි පැවැති අතර එම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, මහා සංඝරත්නය, දේශප්‍රේමීන්, විද්වතුන්, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් සහ ආරාධිතයින් රැසක් සහභාගි වූහ.

පරම වීර විභූෂණ පදක්කම ප්‍රථම වරට හිමිකරගත් කපිතාන් සාලිය අලදෙනිය, වර්ෂ 1990 දී කොකාවිල් හිදී ත්‍රස්තවාදීන්ට යටත් නොවී සෙසුනිලයින් 54 දෙනෙකු සහ සිවිල් කාර්ය මණ්ඩලය 4 දෙනෙකු සමඟ එක්ව සිදුකළ උත්තරීතර කැපකිරීමට 30 වසරක් සපීරීම නිමිත්තෙන් එම විරෝදාර රණවිරුවන්ගේ මතකයන් යළි ආවර්ජනය කිරීම සඳහා මෙම උත්සවය පැවැත්විණි. ත‍්‍රස්තවාදීන් කඳවුර වටලා දින 26 කට පසුව සිදුකළ කොකාවිල් සටන ත‍්‍රස්තවාදයට එරෙහි පැවැති සටනේ අමතක නොවන සන්ධිස්ථානයක් ලෙස සලකනු ලබන අතර එය ත්‍රිවිධ හමුදාවේ වීරත්වයේ සැබෑ ආත්මයන් සහ ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම පිළිබිඹු කරයි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජාතික ගීය ගායනා කර උත්සව කටයුතු ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන්, මෙම හැඟිම්බර අවස්ථාව සහභාගි වූ සියලුදෙනා මහාසංඝරත්නය සමඟ එක්ව ‘මතකවස්ත්‍ර’ සුත්‍ර සඡ්ඣායනා කර පැන් වැඩමවීමෙන් අනතුරුව දිවි පිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කළහ. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් සම්භාවනිය අමුත්තන් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ඡායාරූප ඉදිරියේ පුෂ්පෝපහාරයන් තැන්පත් කර සිය ගෞරවය පුද කළහ.

ආර්ය පදනමේ සභාපති චරිත් කිරිඇල්ල මහතා විසින් පිළිගැනීමේ දේශනය සිදුකිරීමෙන් පසුව ජනප්‍රිය ගායක දයා විතාරණ විසින් ගායනා කළ කොකාවිල් උපහාර ගීතය ගෞරවයට පාත්‍ර වූ අතර, සාමය සඳහා වූ යුද්ධයේ තීරණාත්මක අවධියේදී කොකාවිල් හිදී ආරම්භ වූ ප්‍රසාංගික කථා මාලාවට සැබෑ අරුතක් ලබාදිනි.

මානුෂීය මෙහෙයුම් අතරතුර එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් නැඟෙනහිර ප්‍රදේශය මුදාගැනීම සඳහා වූ ගාමක බලවේගයක් පිටුපස සිටි ඉතා ගෞරවනීය යුද ප්‍රවීණයෙකු වූ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක ‘කොකාවිල්’ අනුස්මරණ දේශනය සිදුකරමින්, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සම්ප්‍රේෂණ කුළුණ ඉලක්ක කරගනිමින් කඳවුර වටකර වීරෝදාර රණවිරුවන්ට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ සිදුවීම් මාලාව සාරාංශ කරමින් පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ වීරෝදාර රණවිරුන් කරන ලද අඛණ්ඩ ධෛර්යය, අධිෂ්ඨානය, කැපවීම හා සැබෑ දේශප්‍රේමීත්වය තුළින් ඔවුන් කඳවුර ආරක්‍ෂා කළ ආකාරය පිළිබඳව එතුමන් ගෞරවය ප්‍රශංසාව හා අභිමානය කැටිව ප්‍රකාශ කළේය.

මෙම උත්සවය අතරතුරදී, කොකාවිල් හිදී දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ භාර්යාවන් සහ ඥාතින් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව තම ආදරණීයන් සිහිපත් කරමින් පොල්තෙල් පහන් දැල්වූහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න රැස්ව සිටි පිරිස සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර එතුමන් අනාගත යහපත උදෙසා එම මතකයන් සිහිපත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. best Running shoes brand | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals