Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2020 17:55:13 Hours

මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු අද (02) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සිය කාර්යාලයේදී සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ දිනයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ඇරඹීම සනිටුහන් කරනු ලැබීය.

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධනීතුමන් වෙත සුබපැතුම් එක්කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

ගජබා රෙජිමේන්තුවෙහි මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු වත්මන් තනතුර භාරගැනීමට ප්‍රථම නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි සිදු කළේය. යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා පත්විය.

වර්ෂ 1985 ජුනි මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 21 සාර්ථකව හදාර දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලද එතුමන් යුද්ධ හමුදාවේ අණ හා මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත.

එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී, 221 වන බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී (ආරක්‍ෂක සේනා මුලස්ථානය - දකුණ), යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ, 68 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ඇතුළු ප්‍රධාන තනතුරු රාශියක් ද හොබවා ඇත. මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති ලෙස ද රාජකාරි සිදුකරනු ලබයි.

මානුෂීය මෙහෙයුම්වලදී එතුමන් දැක්වූ නිර්භීතකම වෙනුවෙන් ‘රණ ශූර පදක්කම’ ඇතුළු තවත් පදක්කම් කිහිපයක් ද එතුමන් වෙත හිමිගන්වා ඇත.

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා ජීවිතය තුළදී එතුමන් පාකිස්තානයේ කනිෂ්ඨ නිලධාරීන්ගේ නායකත්ව පාඨමාලාව, ඉන්දියාවේ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඉන්දියාවේ කනිෂ්ඨ අණදෙන පාඨමාලාව ඇතුළු තවත් දේශීය හා විදේශිය පාඨමාලා රාශීයක් හදාරා ඇති අතර එතුමන් බංගලාදේශ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක උපාධිදාරියෙකු ද වේ. affiliate tracking url | Nike