Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 12:58:07 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් තවත් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් පරිත්‍යාග කරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිදුකරනු ලබන මානුෂිය ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් තන්තිරිමලේ, බෝගොඩවැව ප්‍රදේශයේ පදිංචි අඩු ආදයම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද තවත් නව නිවසක් ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි උත්සවයකදී එම නිවාසලාභින් වෙත පවරාදෙන ලදී.

212 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් විසිත්ත කාමරයක්, ආහාර අනුභව කිරීමේ කාමරයක්, නිදන කාමර සහ මුළුතැන්ගෙයක් ඇතුළු සියලු පහසුකම්වලින් යුත් නව නිවස ඉදිකිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතියෙකු වන ලෙස්ලි සමන් මාරසිංහ මහතා අනුග්‍රහය දැක්වීය. නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව, නිවාසලාභි ධර්මසේන මහතා සහ එම පවුලේ සාමාජිකයින් වෙත විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කරනු ලැබීය.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ සහ 212 වන බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හි තාක්‍ෂණය සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කර තිබිණි.

ආගමික වතාවත් මධ්‍යයේ සමරුඵලකය නිරාවරණය කර නව නිවස විවෘත කර සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍රවලට අනුව කිරි බඳුනක් ඉතිරවීමෙන් අනතුරුව සියලුදෙනා කිරිබත් සහ රස කැවිලි අනුභව කළහ.

මෙම උත්සවය සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ, ලෙස්ලි සමන් මාරසිංහ මහතා හා එම පවුලේ සාමාජිකයින්, 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී හා නිවාසලාභිගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ. Running sport media | Footwear