Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2019 09:50:53 Hours

ආගමික පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන් හමුවී අදහස් හුවමාරු කරගත් නව නැගෙනහිර ආඥාපතිතුමන් බලප්‍රදේශයේ භටපිරිස් අමතයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු පසුගිය දින කිහිපයේ 22 වන සේනාංකයේ සහ බලසේනා කිහිපයක සිය ප්‍රථම නිල සංචාර සිදු කළ අතර එහිදී, එතුමන් ප්‍රදේශයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ සියලුම ආගමික පූජකවරුන් හමූවිය.

නවතමයෙන් පත් වූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ප්‍රථමයෙන්ම 22 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කළහ. සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව 22 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී 2 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භටපිරිස් අමතමින් කාර්යක්‍ෂම හා දක්‍ෂ නිලධාරීන් සහ සෙබළුන් බවට පත්වීම සඳහා විනය ඉහළම මට්ටමක පවත්වා ගනිමින් පුහුණු කටයුතු හා අනෙකුත් රාජකාරි කටයුතු සාර්ථක ලෙස කරගෙන යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කරන ලදී. අවසානයේ, නව ආඥාපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. ඉන් අනතුරුව, 22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් බලසේනාධිපතිවරුන්ගේ සහ අණදෙන නිලධාරීන්ගේ කාර්යභාර්ය හා පරිපාලන කටයුතු පිළිබඳ ආඥාපතිතුමන් දැනුවත් කළහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 221, 222 සහ 224 වන බලසේනා මූලස්ථානයන්හි සංචාරය කළ අතර එහිදී ආඥාපතිතුමන්ව බලසේනාධිපතිවරුන් විසින් උණුසුම් අයුරින් පිළිගැනු ලැබීය. ආඥාපතිතුමන් සිය සංචාර සනිටුහන් කරමින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයන්හි පැළ රෝපණය කළ අතර භටපිරිස් ද අමතනු ලැබීය. මෙම සංචාරය අතරතුරදී, නව ආඥාපතිතුමන් සියලුම අණදෙන නිලධාරීන් සමඟ ගැටළු, දුෂ්කරතා, විවිධ මෙහෙයුම්, පරිපාලනමය කරුණු සහ සෙසුනිල සුභසාධන පහසුකම් පිළිබඳ සාකච්ඡා කළේය.

මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු දෙදින සංචාරය අතරතුර, සුහදත්වය හා පුළුල් අවබෝධය ඇති කරගැනීමේ අරමුණින් ආගමික පූජකවරුන්, ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හමුවූ අතර ඉකුත් සිකුරාදා (25) දින ත්‍රිකුණාමලය ශුද්ධ වූ කෝනේශ්වරම් කෝවිලේ පැවැති විශේෂ පූජාවකට ද එතුමන් සහභාගි වූහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් රංගිරිඋල්පත රජමහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී සීලවිසුද්ධි නායක හිමියන්, ත්‍රිකුණාමලය ජයසුමනාරාමයේ විහාරාධිපති පූජ්‍ය ඥාණාකිත්ති හිමියන් සහ ත්‍රිකුණාමලයේ රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමන් (Rt. Rev. Noel Emmauel) හමුවී ආශීර්වාද ලබාගත්හ.

පසුව, ආඥාපතිතුමන් නැගෙනහිර පළාත් අණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා මහතා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ පුෂ්පකුමාර මහතා හමුවූ අතර එහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වර්තමාන ගැටළු පිළිබඳව සුහදව සාකච්ඡා කරමින්  ප්‍රදේශයේ තිරසාර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා දායකවීමට රාජ්‍ය බලධාරීන් සහ ආරක්‍ෂක හමුදා සාමාජිකයින් අතර ඵලදායී සන්නිවේදන ජාලයක් හා සමීප සම්බන්ධතාවයක් තිබිය යුතු බව අවධාරණය කළේය. affiliate link trace | nike fashion