Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2019 13:03:55 Hours

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී සිකුරාදා (23) දින සිට බලපැවැත්වෙන පරිදී පත් කර ඇති බව හමුදා ලේකම් කාර්යාලය නිවේදනය කරයි. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ එම ධූරයට පත් කරන ලදී.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද්ධ හමුදාවේ දෙවනියා ලෙස මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වන අවස්ථාව වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ධූරය මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක ධූරය ද හොබවනු ලැබීය.

දේශයේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර සාමය උදාකිරීමෙහිලා දැක්වූ දායකත්වය අගයමින් වීර වික්‍රම විභූෂණ (WWV) පදක්කම පිරිනැමු කිහිපදෙනා අතර මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය දුලනප්‍රේම තල්අරඹේ ලියනගේ ද සිටීයි.

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදීශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරාල් ලියනගේ විශේෂයෙන්ම පාසලේ ක්‍රිකට්, රග්බි පාපන්දු, මළල ක්‍රීඩා යන ක්‍රීඩා ක්‍ෂේත්‍රයන්හි මෙන්ම ශිෂ්‍යභට ඛණ්ඩායමේ ද දක්‍ෂතා පෙන්නුම් කළේය. රග්බි පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩා ක්‍ෂේත්‍රයට දැක්වූ දායකත්වය අගයමින් එතුමන් සඳහා විද්‍යාලීය වර්ණ ප්‍රදානය කෙරිණි. පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව එතුමන් වර්ෂ 1984 මාර්තු 04 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක්වී කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කර වර්ෂ 1985 නොවැම්බර් 16 වන දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරීයට පත්ව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 1 වන විමර්ශන රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදී.

වසර 35 කට අධික එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ අණදීම්, මාණ්ඩලික සහ උපදේශක තනතුරු රැසක් හොබවා ඇත. තවද, එතුමන් 4 වන සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, ත්‍රිකුණාමලයේ නගර අණදෙන නිලධාරී, 523 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති සහ 55 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු අණදීමේ තනතුරු රැසක් හොබවා ඇත.

මානුෂීය මෙහෙයුම් අතරතුරදී 3 වන කාර්ය සාධක බලකායට අණදීම සිදුකළ එතුමන් ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවැති මානුෂිය මෙහෙයුම් සාර්ථක අවසන් කරන තෙක් කාර්ය සාධක බලකාය අණදීම සිදුකරන ලදී. ඉන් අනතුරුව, එතුමන් 52 වන පාබල සේනාංකයේ සහ 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලැබීය.

තවද, මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද්ධ හමුදා මූලස්ථානයේ කර්නල් හමුදා ලේකම්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ක්‍රියාන්විත සහ සැලසුම් අධ්‍යක්‍ෂ ජෙනරාල්, ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී සහ යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ඇතුළු මාණ්ඩලික නිලධාරී තනතුරු රැසක් හොබවා ඇත.

එතුමන් මේ දක්වා හදාරා ඇති පාඨමාලා අතර තරුණ නිලධාරී පාඨමාලාව, ඉන්දියාවේ උපදේශක පාඨමාලාව සහ ජ්‍යෙෂ්ඨ අණදීමේ පාඨමාලාව, පකිස්තානයේ මධ්‍යම වෘත්තීය නිලධාරී පාඨමාලාව, බංගලාදේශයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ නිලධාරී උසස් පාඨමාලාව සහ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව ද වේ.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ කීර්තිමත් හමුදා වෘත්තියට අමතරව, ඉන්දියාවේ ආරක්‍ෂක කළමනාකරණ උපාධියක් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ විදේශ කටයුතු පිළිබඳ ඩිප්ලෝමා උපාධියක් ද සාර්ථකව හදාරා ඇත. එතුමන් ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයේ සිය ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ පළමු පන්තිය ලබාගෙන ඇත. එමෙන්ම, වොෂිංටන් හි පිහිටි දකුණු ආසියා මූලෝපායික අධ්‍යයන මධ්‍යස්ථානයේ පැවති ‘පද්ධති ප්‍රතිසංස්කරණ අභියෝග සහ අවස්ථාවන්’ පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට සහභාගී වී ඇති එතුමන් මාලදිවයිනේ පැවති ‘ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය’ පිළිබඳ සම්මන්ත්‍රණයට ද සහභාගී වී ඇත.

මේජර් ජෙනරාල් ලියනගේ යුධ පිටියේ දී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් වීර වික්‍රම විභූෂණය (WWV) සහ රණ වික්‍රම පදක්කම (RWP) ඇතුළු අතිවිශිෂ්ට සම්මාන රැසක් හිමිගන්වා ඇත. තවද, එතුමන් යුද්ධ හමුදාවට කළ සේවය අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, රිවී රැස සේවා පදක්කම, 50 වන නිදහස් සංවත්සරය සැමරීම පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම හිමිගන්වා ඇත.

එතුමන් යුද්ධ හමුදා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ද සුවිශේෂි දක්‍ෂතා දැක්විය. ඒ අනුව, එතුමන් යුද්ධ හමුදා ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීකට් කණ්ඩායම සහ රග්බි පාපන්දු කණ්ඩායම නියෝජනය කළේය. එතුමන් වර්ෂ 1984 සිට 1994 දක්වා යුද්ධ හමුදා රග්බි පාපන්දු කණ්ඩායම නියෝජනය කළ අතර 1994 දී එහි නායකත්වය දැරීය. රග්බි පාපන්දු ක්‍ෂේත්‍රයේ ප්‍රදර්ශනය කළ කුසලතා සහ විශිෂ්ට ක්‍රීඩාශීලිත්වය වෙනුවෙන් එතුමන් වෙත යුද්ධ හමුදා වර්ණ ද ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමඟ ශිරෝමි මහත්මිය විවාහ වූ අතර ඔවුනට ආදරණීය දියණියක් ද සිටියි. එතුමන් පොත් කියවීමට, ස්කොෂ් හා ටෙනිස් ක්‍රීඩා කිරීමට මෙන්ම සංගීතයට සවන් දීමට ද ප්‍රිය කරයි. latest jordans | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf