Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2019 12:03:30 Hours

‘ගජබා සුපර්ක්‍රොස් - 2019’ පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම්

‘ගජබා සුපර්ක්‍රොස් - 2019’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLADA) සමඟ එක්ව 2019 සැප්තැම්බර් මස 01 වන දින අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ගේ ප්‍රධානත්වයෙන් ‘ගජබා සුපර්ක්‍රොස් - 2019’ හී මාධ්‍ය සාකච්ඡාව ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථාන නිලධාරී නිවස්නයේ දී පැවැති අතර මෙම තරඟාවලිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ පහසුකම් වැඩිදියුණු කිරීමට මෙන්ම ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයවලුන්ගේ සුබසාධන කටයුතු සඳහා මුදල් රැස් කිරීමේ අරමුණින් පවත්වනු ලබයි.

1999 වර්ෂයේ සාලියපුර දී ආරම්භ වූ ගජබා සුපර්ක්‍රොස් තරඟාවලියේ සමාරම්භක තරඟය උතුරු මැද පළාතේ දී පවත්වනු ලැබු අතර මෙවර තරඟාවලිය ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන බව මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න පෙන්වාදුන්නේය.

සාලියපුර දී මෙම සුවිශේෂී හා අභියෝගාත්මක ධාවන පථය නිර්මාණය කිරීම වෙනුවෙන් මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් හෑන්ස් රල්ෆ් කාර්පින්ස්කයි මහතා (Mr. Hans Ralf Karpinsky ) වෙත සිය කෘතඥතාවය ද පුදකළහ. වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෝටර් රථ ධාවන තරඟ සඳහා උනන්දුවක් දක්වන අතර ගජබා සුපර්ක්‍රොස් තරඟාවලිය ආරම්භයේ සිටම එය යථාර්ථයක් බවට පත්කරගැනීමට සෑම උත්සාහයක්ම ගන්නා බවට මෙහිදි සහතික විය.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන තරඟාවලි දින දර්ශනයේ දැවැන්ත අංගයක් වන ගජබා සුපර්ක්‍රොස් - 2019 ධාවන තරඟාවලිය ත්‍රාසජනක අත්දැකීම් රැසක් සහිත තරඟ ඉසව් 24 කින් සමන්විත වන අතර මෙම තරඟාවලිය සඳහා දිවයිනේ දක්‍ෂ මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින් 200 කට අධික පිරිසක් සහභාගිවීමට නියමිත බව මෙම මාධ්‍ය හමුවේ දී පැවසීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ  ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ. අනතුරුව, මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වු ශ්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් රියදුරන්ගේ සංගමයේ උප සභාපති යෝගා පෙරේරා මහතා හට ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්‍ෂ මෙම තරඟාවලිය සඳහා දක්වන ලද අනුග්‍රහකත්වය වෙනුවෙන් ස්තුතිවන්ත විය.

18 වන වරටත් පැවැත්වෙන මෙම තරගාවලියෙහි ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ගෞරවනීය ආරාධනයෙන් එයාර් වොයිස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම කටයුතු කරන අතර, සිංගර් ශ්‍රී ලංකා පුද්ගලික සමාගම, හච් ටෙලිකොම් පුද්ගලික සමාඟම, සියැට් කැළණි ටයර් සමාගම, ලංකා හොස්පිටල් පුද්ගලික සමාගම මුල්‍යමය දායකත්වය ලබාදෙමින් සම අනුග්‍රහකත්වය දරයි. එසේම, මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම සඳහා විශේෂ අනුග්‍රහකයන් ගණනාවක් සිය කැමැත්තෙන්ම අනුග්‍රහකත්වය ලබාදෙන ලබයි. තවද, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ අයි නාලිකාව, ABC මාධ්‍යජාලය, හිරු ගුවන්විදුලිය හා විජය පුවත්පත මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලබයි. Sport media | Shop: Nike