24th May 2018 15:47:00 Hours
ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්වී ඇති ජනතාව ආපදා තත්ත්වයන්ගෙන් මුදාගැනීමේ කටයුතු සහ ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් කටයුතු වල නියලීමට යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් යොදවා ඇත.
ඒ අනුව, 582 වන බලසේනාවේ භට පිරිස් හොරණ, වගාවත්ත ප්‍රදේශයේ ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියලි සිටින අතර, එම ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් නිවසක පැවැති දානමය පිංකමක් සඳහා මහා සංඝරත්නය වැඩමකරවීමට ජලයේ වූවද ධාවනය කලහැක WMZ වර්ගයේ සන්නද්ධ රථයකින් ප්‍රවාහන පහසුකම් සැලසීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.
තවද පසුගිය පැය 48 ක කාලය තුල කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇදහැළුනු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් නිකවැරටිය, රස්නායකපුර සහ පොල්ගහවෙල ප්‍රදේශයන්හි විපතට පත්වූ ජනතාව මූදාගැනීමේ මෙහෙයුම්, ප්‍රදේශයේ බලධාරීන්ගේ සහයෝගය ඇතිව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ භට පිරිස් විසින් දියත් කරනු ලැබීය.
මේ අතර, රස්නායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ හානියටපත් නිවාස කිහිපයක ජනතාව මුදාගැනීමෙන් අනතුරුව, ප්‍රදේශයේ පිහිටි ප්‍රජා මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් පහසුකම් ලබාදී අහාර පාන මෙන්ම ළමුන් සඳහා නිදන මේට්ට අදීය ලබාදීමට ද යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කරන ලදි.
එමෙන්ම, නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි උඩුනෝව වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත් භූමි ප්‍රදේශයන් වෙත ජලය කාන්දුවෙන ස්ථානයන්හි වැලි කොට්ට ඇතිරීම සඳහා 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ 16 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් යොදවන ලදි.
ඇතිවී ඇති ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්‍ෂ මෙහෙයුම් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අදාළ පළාත් පාලන ආයතන හා රාජ්‍ය ආයතන සමග සහයෝගයෙන් යුතුව ආපදාවට ලක්වුවන්ට අවශ්‍ය සහන කටයුතු සැලසීම් සඳහා සියලු පියවරයන් ගෙන ඇත.
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කුරුණෑගල, නුවර, බදුල්ල, නුවරඑලිය, කෑගල්ල, කොළඹ, මොණරාගල, පොළොන්නරුව, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ජනතාව මූදාගැනීම සඳහා බදාදා (23) දින සන්ධ්‍යාව වනවිට යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් යොදවා ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව හදිසි ආපදා තත්ත්වයක් ඇති වූවහොත් යෙදවීමට යුද්ධ හමුදා සාමාජිකයින් 5000 ක පමණ ප්‍රමාණයක් සුදානම් කර ඇත.
මේ අතර, පාහියන්ගල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක තිබු ගසක් මාර්ගයක් අවහිර කරමින් කඩා වැටිම හේතුවෙන් 9 වන ගැමුණු හේවා බලඇණියේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිස් කණ්ඩායමක් බදාදා (23) දින උදෑසන යන්ත්‍ර සහ උපකරණ යොදාගනීමන් ගස කපා ඉවත්කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කරනු ලැබීය.
Sport media | NIKE HOMME