Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2018 14:19:46 Hours

14 වන ජාතික කඹ ඇඳීමේ ශුරතා කුසලානය යුද්ධ හමුදාවට

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය ජාතික කඹ ඇඳීමේ සංගමය සමඟ එක්ව කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩංගනයේ දී ඉරිදා (25) දින සංවිධානය කරනු ලැබු 14 වන ජාතික කඹ ඇඳීමේ තරඟාවලියේ ශුරතාවය හිමි කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇඳීමේ කණ්ඩායම සමත් විය.

මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා (පිරිමි/කාන්තා), ශ්‍රී ලංකා නාවික හමුදා (පිරිමි/කාන්තා), ශ්‍රී ලංකා ගුවන් හමුදා (පිරිමි/කාන්තා), ශ්‍රී ලංකා පොලිස් (පිරිමි/කාන්තා), සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තු - කිලිනොච්චි (කාන්තා), වවුනියාව ක්‍රීඩා සමාජය (පිරිමි/කාන්තා), පූගොඩ - ඩම්බෙල් ක්‍රීඩා සමාජය (පිරිමි), හොරණ - නිදහස් ක්‍රීඩා සමාජය (පිරිමි) සහ මඩකලපුව ක්‍රීඩා සමාජය (පිරිමි) කණ්ඩායම් තරඟ වැදුණි.

පිරිමි අංශයේ, කිලෝග්‍රෑම් 640 බර පන්තියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් හිමිකරගත් අතර අනුශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමිවිය. එහි තෙවන ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්විය.

කාන්තා අංශයේ, කිලෝග්‍රෑම් 540 බර පන්තියේ ශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හිමිකරගත් අතර අනුශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හිමිවිය. එහි තෙවන ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි වූ අතර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජගත් රත්නායක ද එක්ව සිටියහ.

කඹ ඇඳීමේ සංගමය නියෝජනය කරමින් කඹ ඇඳීමේ සංගමයේ සභාපති කර්නල් ජනක රණසිංහ ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

කඹ ඇඳීමේ සංගමයේ ලේකම් ඩබ්ලිව් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා, ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යාපෘති භාර නිලධාරි හේමන්ත බණ්ඩාර මහතා, කඹ ඇඳීමේ සංගමයේ නියෝජ්‍ය සභාපති සේරසිංහ මහතා සහ කඹ ඇඳීමේ සංගමයේ අතිරේක ලේකම් වික්‍රමසිංහ මහතා විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

14 වන ජාතික කඹ ඇඳීමේ තරඟාවලිය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය නෙස්ටමොල්ට් ආයතනය වෙතින් ලබාදුන් අතර, මාධ්‍ය අනුග්‍රහය ලක්බීම පුවත්පත සහ සිරස රූපවාහිනි නාලිකා වෙතින් ලබාදුන්හ.

affiliate link trace | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4