Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2017 08:22:20 Hours

‘ජාතික ස්කොෂ් තරඟාවලිය - 2017’ සඳහා සියල්ල සුදානම්

37 වන ‘ජාතික ස්කොෂ් තරඟාවලිය - 2017’ යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් දෙසැම්බර් මස 16 සිට 19 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එහිදි ජාතික මට්ටමේ ස්කොෂ් ක්‍රීඩකයින් 100 කට වැඩි පිරිසක් සිය දක්ෂතා එළිදක්වනු ඇත.

මේ පිළිබඳව සඳුදා (11) දින ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කෙන්ද්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මෙම 37 වන ජාතික ස්කොෂ් තරඟාවලිය පැවැත්වීම සඳහා සියල්ල සුදානම් බව මාධ්‍ය වෙත අනාවරණය කරන ලදි.

මෙවර ‘ජාතික ස්කොෂ් තරඟාවලිය - 2017’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අනුග්‍රාහකත්වය ලබාදෙන අතර, ඉතිහාසයේ පළමු වතාවට රට තුළ ක්‍රීඩාවේ උන්නතිය සඳහා දිරිගැන්වීමක් වශයෙන් එසේ සිදු කරන බව මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ස්කොෂ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද විසින් ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකා ස්කොෂ් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් සහ යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සම්බන්ධිකරණයෙන් ඉසව් 08 ක් යටතේ පැවැත්විමට නියමිත මෙම ශුරතාවලියේ කාන්තා සහ පිරිමි විවෘත තරඟ අංශයන් වඩාත්ම කැපීපෙනෙන ඉසව් වනු ඇත.

අඟහරුවාදා (19) දින පැවැත්වෙන මෙහි ත්‍යාග ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවීමට නියමිතය.

බ්‍රිතාන්‍යයන් විසින් වර්ෂ 1906 දී ස්කොෂ් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර, එය වෘත්තීය ක්‍රීඩාවක් ලෙස ආසියානු ස්කොෂ් සම්මේලනයේ පිළිගැනිමෙන් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ 1981 වර්ෂයේ දී හඳුනාගනු ලැබීය.

හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනමාධ්‍ය මේජර් ජෙනරාල් රෝෂාන් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ස්කොෂ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එච්.ජී.අයි විද්‍යානන්ද, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, ජාතික ස්කොෂ් සංගමයේ සභාපති ගුවන් කොමදෝරු ඒ. අබේසේකර (විශ්‍රාමික), ජාතික ස්කොෂ් සංගමයේ ලේකම් කමාන්ඩර් ඩබ්.එස්.පි ජයවර්ධන (විශ්‍රාමික), යුද්ධ හමුදා ස්කොෂ් ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් එච්.එම්.ඩබ්.අයි චතුරංග සහ මහජන බැංකුවේ නිලධාරින් කිහිපදෙනෙක් ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

bridge media | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos