Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2017 15:33:59 Hours

භට පිරිස් විසින් හානියට පත්නිල්වලා ගඟෙහි බැම්ම අළුත්වැඩියා කරමින් ආපදා සහන සේවා කටයුතුවල තවදුරටත් නිරත වේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය හා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් ගෙවීගිය පැය 72 ක කාලය තුල අධික සුළං සහවැසිබර කාලගුණයෙන් බලපෑම් එල්ලවූ ප්‍රදේශයන්හි තවදුරටත් ආපදා සහන සේවාවන්හි නිරතව සිටිනඅතර, සෙනසුරාදා (2) දින උදෑසන මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ කඩ්ඩුව ප්‍රදේශයේ නිල්වලා ගඟෙහි බැම්මේ ඉරිතලා යෑම පිළිබඳව වහා අවධානය යොමුකරමින් යුහුසුළුව ක්‍රියාකාරී වී එම ආපදා තත්වය පිළිසකර කරන ලදි.

58 වන සේනාංකයේ 581 වන බළසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් වහා ක්‍රියාත්මක වී මීටර 20 ක් පමණ වූ බැම්මෙහි ආපදාවට ලක්වූ ප්‍රදේශය පුරවාගත් වැලි කොට්ට යොදා හිඩස පුරවමින් හා වඩාත් දුර්වල ස්ථානයන් ශක්තිමත් කරමින්ගංගාවෙහි බැම්ම තවදුරටත් කැඩීයාම වැලැක්වීමට කටයුතු කළේය.

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 14 වන සේනාංකයේ 142 වන බළසේනාව යටතේ ස්ථාපිත 6 වන ගැමුණු හේවා බළකායේ, 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හා 10 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් රජයේ බළධාරීන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගනිමින් එම ප්‍රදේශයන්හි කඩාවැටුණු ගස් හා අතු ඉවත්කල අතර, කැළණිතිස්ස විදුලි බලාගාරය, මට්ටක්කුලිය, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රය, අඹතලේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රය, මාලඹේ, හෝකන්දර, මුල්ලේරියාව, දික්හේනවත්ත, මත්තේගොඩ, මහජන පුස්තකාල පරිශ්‍රය, ග්‍රෙගරි පාර, මලලසේකර මාවත, විහාරමහාදේවි උද්‍යානය, තුන්මුල්ල හන්දිය, පාමංකඩ සහ ඒ අවට අනෙකුත් ප්‍රදේශයන්හි සුන්බුන් හා බාධක ඉවත්කොට සාමාන්‍ය තත්වයට පත්කරන ලදි.

මේ අතර, කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට තිබූ ඔහිය සහ දියතලාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ කඩාවැටුණු ගස් සහ අතු ඇතුළු සුන්බුන් ඉවත්කරමින් එම මාර්ගය පිළිසකර කරදීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 7 වන ශ්‍රී ලංකා සංඥා බළකා භටපිරිස් යුහුසුළුව දායක වූහ.

යුද්ධ හමුදා භටයින් 25 දෙනෙකුගෙන් සැදුම්ලත් තවත් ආපදා සහන කණ්ඩායමක් ඔහිය උඩවේරියවත්ත ප්‍රදේශයේ ගල් හා පස්කඳු කඩාවැටීමෙන් මාර්ගය අවහිරව නායයෑමේ තර්ජනයකටද මුහුණ දී අවතැන්ව සිටි සාමාන්‍ය වැසියන් පිරිසකටද එම මාර්ගය පිළිසකර කරමින් සහන සැපයීමට කටයුතු කළහ.

මේ අතර, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් අයහපත් කාලගුණය හේතුවෙන් බලවත් හානියට පත්ව තිබූ දියතලාව ඇල්ලගම දකුණ ප්‍රදේශයෙහි ජල පොම්පාගාර යන්ත්‍රයද ජල සම්පාදන මණ්ඩලයේ බළධාරීන් හා එක්ව පිරිසිදු කොට ප්‍රතිසංස්කරණය කරන ලදි.

තවද, සිකුරාදා (1) දින පෙරවරු 9.00 ට පමණ පලොල්පිටිය මෙන්ඩිස්හේන ප්‍රදේශයේ නිවසක් මතට පස්කඳු කඩාවැටීමෙන් වැළලී මියගිය පුද්ගලයෙකුගේ දේහය සොයාගැනීමට ද 581 වන බළසේනාවේ භට පිරිස් විසින් එම කඩාවැටුණු පස්කඳු ඉවත් කරමින් ක්‍රියාකාරීව දායක වූහ.

Sports brands | Nike