Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2017 13:51:34 Hours

යාපනය නාග විහාරයේ කඨින පිංකම පැවැත්විමට යුද්ධ හමුදාවේ සහාය

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස්, පොලිසීය, යාපනය නගර සභාව ඇතුලු අනෙකුත් සේවාවන් එක්ව ඔක්තෝබර් මස 28 සහ 29 යන දිනයන්හි දී යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහකදුරේ සිරි විමල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් වාර්ෂික කඨින පිංකම පැවැත්විමට මෙවර ද සහාය දැක්විය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් අනුව කඨීන පිංකම සුදානම් කිරිමටත්, එම උත්සවය පැවැත්විමටත් යුද්ධ හමුදා භට පිරිස් විවිධ අයුරින් සහයෝගය දැක්වූහ.

උඩරට, පහතරට සහ යාපන අර්ධද්විපයේ සංස්කෘතික අංගයන්ගෙන් සැදුම්ලත් මෙම විචිත්‍ර කඨීන පෙරහැර සෙනසුරාදා (28) දින පස්වරුවේ දී යාපනය ප්‍රදේශයේ විදී සංචාරය කරන ලද අතර, යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිසීය, යාපනය පාසල්, නර්ථන ආයතන සහ අනෙකුත් දායකයින් එකතුව පෙරහැර කටයුතු සාර්ථකව ඉටු කරන ලදි.

512 බලසේනා මූලස්ථානයේ දී ආරම්භ වූ කඨීන පෙරහැර ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ දී අවසන් විය.

නාග විහාරයේ දී පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනයෙන් අනතුරුව, ඉරිදා (29) දින උදෑසන බෞද්ධ සංඝයා වහන්සේලා හතලිස් නමක් වෙනුවෙන් කඨීන චීවර පූජා කොට හීල් දානය ද පිරිනමන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුලු හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම දානමය පිංකමට සහභාගි වූ අතර, මහා සංඝයා වෙනුවෙන් අටපිරිකර ද පූජා කරන ලදි.

ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු සිවිල් වැසියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

affiliate link trace | Air Jordan