Header

Sri Lanka Army

Defender of the Nation

20th October 2017 15:39:45 Hours

මුල්ලයාවේලි මුෂ්ටි ප්‍රහාරක ශූරයන් හට මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රසංශාව

සමස්ථ ලංකා අන්තර් පාසල් ටී.බී. ජයා අනුස්මරණ කුසලාන මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් මුල්ලයාවේලි විද්‍යානන්ද මහ විද්‍යාලයේ මුෂ්ටි ප්‍රහාරක කණ්ඩායම ඇගයිමේ උත්සවයක් 59 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සඳුදා (16) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහභාගි වු අතර, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි වන්නිආරච්චි, මුලතිව් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා යු. පුවනරාජා මහත්මිය, මුල්ලයාවේලි විද්‍යානන්ද මහ විද්‍යාලයේ විදුහල්පති පී.කේ. සිවලංගම් මහතා, විද්‍යාලයේ මුෂ්ටි ප්‍රහාරක කණ්ඩායමේ පුහුණුවිම් සඳහා දායකත්වය ලබාදුන් ‘මාස්’ (MAS) ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රෙනෝලඩ් ප්‍රනාන්දු මහතා සහ පුහුණුකරු එස්. වල්ලුවන් මහතා ද මෙම උත්සවයට සහභාගි විය.

මෙම තරඟාවලියේ රන් පදක්කම් ලාභි වන තරඟාවලියේ දක්ෂතම මුෂ්ටි ප්‍රහාරකයා වු විජිතරන් සැම්සන් සහ අනෙකුත් රන්පදක්කම් ලාභින්වු යෝගනාදන් ජෙනනන්, යෝකේස්වරන් කිරිදරන්, මුරලිදරන් තනුජන් යන අය වෙත 59 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනාවල භට පිරිස් හි අනුග්‍රාහකත්වය ලබාදුන් මවුන්ටන් පාපැදි හතරක් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මෙම අවස්ථාවේ දි ප්‍රදානය කරනු ලැබීය. මීට අමතරව, පාසල් සිසුන් අතර මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, එ් සඳහා අවශ්‍ය වන උපකරණ තොගයක් ද පාසල වෙත මෙහිදි ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සවය අවසානයේ සියලුමදෙනා තේපැන් සංග්‍රහයකට සහභාගි වු අතර, මුෂ්ටි ප්‍රහාරක ශූරයන් සමගින් සමුහ ඡායරූපයකට ද පෙනී සිටියහ.

Sportswear Design | FASHION NEWS