Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2017 10:03:20 Hours

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය’ නිමාවට

54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලියේ’ සමාප්ති උත්සවයේ සහ ජයග්‍රාහකයින්හට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේ දී බ්‍රහස්පතින්දා (05) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ආරාධනයෙන් සමාප්ති උත්සයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. උත්සව භූමියට සම්ප්‍රාප්තවු හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති ඇතුළු පිරිස විසින් සාදරයෙන් පිළිගනු ලැබීය.

බ්‍රහස්පතින්දා (05) දින පැවති සමාප්ති උත්සවයට විචිත්‍ර යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම් සංදර්ශන, සරඹ පෙළපාලි, සම්ප්‍රදායික අංගම්පොර සටන් අංගයන් ඇතුලත් වු අතර, දියගම ක්‍රීඩාංගනය සියගණනක් සෙබළුන් ඇතුළු ක්‍රීඩාලෝලීන් රැසකගෙන් පිරි පැවතුණි.

මළල ක්‍රීඩා ශුරතා තරඟාවලියේ පිරිමි ඉසව් සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය අත්පත් කරගත් අතර, අනුශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමි විය. එමෙන්ම, කාන්තා අංශයේ ශුරතාවය 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායටත්, අනුශුරතාවය 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායටත් හිමි විය.

සමාප්ති උත්සවයේ අවසන් භාගයේ, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ දක්ෂතා දැක්වු තරඟකරුවන් වෙත කුසලාන සහ සහතික පත් පිරිනමනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උත්සවයේ සමාප්තිය නිල වශයෙන් ප්‍රකාශ කළහ.

54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය - 2017’ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් අඟහරුවාදා (03) දින උදෑසන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රෝහන බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණි.

යුද්ධ හමුදාවේ සියළු රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 1500 කට වැඩි පිරිසක් මෙවර ජවන හා පිටිය ඉසව්වන් හිදී තම දක්ෂතාවයන් දැක්විය.

spy offers | Nike Air Max 270