17th June 2017 18:01:02 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සාර්ථකව පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු සෙනසුරාදා (17) දින පැවති වර්ණවත් පෙළපාලියකින් විසිර යන ලදි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා සහභාගි විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පිවිසුම් දොරටුව අභියස දී යුද්ධ හමුදාධිපතිතුමා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඉන් අනතුරුව දිනයේ ප්‍රථම අංගය ලෙස ආරක්ෂක රාජ්‍ය ආමාත්‍යතුමා විසින් එම විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා රට දැය වෙනුවෙන් තම ජීවිත පූජා කළ රණවිරුවන් සිහිකරනු ලැබීය.
දවසේ ප්‍රධාන අංගය වූ විසිරයෑමේ පෙළපාලියේ ආරම්භය සනිටුහන් කරමින් එහි අණදෙන්නා වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එච්.ආර්.ඒ.ජේ.කේ.කේ බස්නායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තාගෙන් අවසර ගැනිමෙන් අනතුරුව පෙළපාලියේ මුලික අදියර ආරම්භ කළහ.
එහිදි මෙම කෙඩෙට් නිලධාරීන් වෙත අධිකාරිය සංකේතවත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අසිපත් පිළිගැන් වූ අතර, අනතුරුව නව නිලධාරීන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.
මෙහිදි කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 83 සහ ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 57 හි පිළිවෙලින් බලඇණි මෙහෙයුම් නිලධාරී ඩි.යූ.අයි.එල් ගොඩකුඹුරේගේදර සහ ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ඒ.සී.පී. කුමාර දක්ෂතම කෙඩෙට් නිලධාරීන්ට හිමි අසිපත් හිමි කර ගන්නා ලදි.
2014 නොවැම්බර් මස 12 දින ආරම්භ වී මාස 30 ක කාලයක් පැවති නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 83 යටතේ කෙඩෙට් නිලධාරීන් 36 ක් ද, 2016 ජනවාරි 04 ආරම්භ වී මාස 18 ක කාලයක් පූරා පැවති ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 57 යටතේ කෙඩෙට් නිලධාරීන් 24 ක් ද මෙහිදි අධිකාරියට පත් කරනු ලැබීය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාගාරයේ දී දෙමාපියන් විසින් නව අධිකාරියට පත් නිලධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් නිළ ලාංඡන පැළඳ වූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න ද එක්ව සිටියහ.
අධිකාරියට පත්විමෙන් අනතුරුව කෙඩෙට් නිලධාරී භෝජනාගාරයේ දී පැවැත්වෙන රාත්‍රි හෝජන සංග්‍රහය සඳහා අධිකාරියට පත් නව නිලධාරීන් සමඟින් ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද්ධ හමුදාපතිතුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වීමට නියමිතය.
එමෙන්ම, සිකුරාදා (16) දින රාත්‍රියේ පැවති කෙඩෙට් නිලධාරීන්ගේ අවසන් ඉදිරිපත් කිරීම (presentations) වන ‘Recurrence and Intensity of Natural Disasters Has a Devastating Impact on World Peace and Security; Role of Armoured Forces’ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද්ධ හමුදාධිපති සමඟින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.
affiliate link trace | Zapatillas de running Nike - Mujer