04th March 2017 20:18:47 Hours
යුද හමුදා හා අනෙකුත් සහෝදර හමුදාවන්හි ආබාධිත රණවිරුවන් සඳහා තමන් විසින්ම අවශ්‍ය සෘජු කාරක හා අංගාදේශක විකලාංග නිපදවීමේ කාර්මිකාගාර දෙමහල් ගොඩනැගිලි සංකිර්ණයක් රාගම, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී ඉදිකිරීම ආරම්භ කරන ලදි.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවැත් වූ දිර්ඝ සාකච්ඡාවලින් අනතුරුව එම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළ අතර, බදාදා (01) දින උදෑසන සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඒ සඳහා මුල්ගල තැබීම සිදු කරන ලදි.
මෙම ව්‍යාපෘතිය මඟින් සෑම මසකම 300 ක් පමණ ආබාධිත රණවිරුවන් සඳහා ප්‍රතිලාභ හිමිකරදීමට අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් යුද හමුදාව රුපියල් මිලියන 81 ක් ද, ඊට අමතරව තාක්ෂණික උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 126 ක් වැය කරනු ලැබේ. මාස තුනක කාලයක් තුල දී මෙම ඉදිකිරීම නිම කිරීමට ද නියමිතය. අනතුරුව මෙහි නිෂ්පාදන කටයුතු වෙනුවෙන් විදේශීය විශේෂඥයින්ගෙන් පුහුණුව ලැබූ ආබාධිත රණවිරුවන් 50 දෙනෙකුට වැඩි පිරිසක් යෙදවීමට ද නියමිතය.
10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ තාක්ෂණික විශේෂඥයින්ගේ සහාය ඇතිව අනෙකුත් රෙජිමේන්තු භට පිරිස්හි සහාය මේ සඳහා ලබාදෙනු ලැබේ.
මේ වන විට රාගම රණවිරු සෙවනෙහි ආබාධිත රණවිරුවන් 125 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
සුභ මොහොතින් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තැබිමෙන් අනතුරුව රණවිරු සෙවනෙහි සේනාවිධායකගේ ආරාධනයෙන් අලුත්වැඩියා කරන ලද මානසික සෞඛ්‍ය ඒකකය විවෘත කිරීම සඳහා යුද හමුදාපතිතුමා වෙත ආරාධනා කරන ලදි. ඒ අනුව එහි රෝගීන් 28 දෙනෙකු හට එකවර ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත. අනතුරුව යුද හමුදාපතිතුමා රණවිරු සෙවනෙහි නිලධාරීන් සමඟ එහි ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක ද නිරත විය.
ඉන් අනතුරුව, ඉන්දියාවේ පැවති දෘශ්‍යාබාධිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2017 සඳහා සහභාගි වූ කණ්ඩායම නියෝජනය කළ යුද හමුදා ක්‍රීඩකයින් 06 දෙනාගේ දක්ෂතාවයන් අගය කිරීම ද මෙහිදි සිදු කළ අතර, ඉන් දෙදෙනෙකු තරඟයේ වීරයාට හිමි සම්මානය මෙන්ම හොඳම පිතිකරු ලෙස ශතකයක් ද ලබා ගන්නා ලදි.
එමෙන්ම, ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මෙම ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ කතාබහක නිරත වෙමින් අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ එම දක්ෂතා වෙනුවෙන් ඔවුන් හට රුපියල් ලක්ෂය බැගින් ද පරිත්‍යාග කරනු ලැබු අතර, සැරයන් ජේ.පී.ඩී.රවින්ද්‍ර, කෝප්‍රල් අයි.ඒ.පී. සමන් කුමාර, කෝප්‍රල් ටී.ඩී.කේ. සහන් කුමාර සහ කෝප්‍රල් ඩබ්.ජි.සි.එස්.බංඩාර යන ක්‍රීඩකයන් සිව්දෙනාගේ දක්ෂතාවය අගය කරමින් මාර්තු මස (02) දින සිට බල පැවැත්වෙන පරිදි මිළඟ නිළය සඳහා උසස් කිරිමට කටයුතු කරන ලදි.
මෙම අවස්ථාවට සපැමිණි යුද හමුදාපතිතුමා පිළිගැනීම, රෝද පුටුවක සිටින නේවාසික රණවිරුවෙක් සහ යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් සිදු කළ අතර, රණවිරු සෙවනේ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග, පුනරුත්ථාන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ. තිරුණාවුකරුසු ඇතුලු නිලධාරින් කිහිපදෙනෙක් ද මීට එක්ව සිටියහ.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නේවාසික රණවිරුවන් සහ සෙසු නිලයින් ද මෙම උත්සවය සඳහා සහභාගි වූහ.
Nike Sneakers Store | Nike Shoes