Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2017 14:56:42 Hours

වෙහෙරතැන්න ගම්මානයේ වැසියන් සඳහා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් නව නිවාස 4 ක්

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ පෞද්ගලික දානපතීන්ගේ අනුග්‍රහය ඇතිව, වන්නි හි පිහිටි නැවත පදිංචි කල වෙහෙරතැන්න ගම්මානයේ අඩුආදායම්ලාභී පවුල් 04 ක් සඳහා ඉදිකරදුන් නව නිවාස සෙනසුරාදා (11) දින විවෘත කරන ලදි.

නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෝගම්බර රතනජෝති ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුව බලපිටිය මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අරුණජිත් පිරිස් මහතා සහ පවුලේ ඥාතීන්, වෛද්‍ය ප්‍රීතිකලා පිරිස්, දීපිකා පිරිස් මෙනවිය, ගෝතමි සාගරිකා පිරිස් මෙනවිය සහ පත්මිනි පිරිස් මහත්මිය ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම නිවාසයන්හි ඉදිකිරිම් සඳහා අනුග්‍රහකත්වය ලබාදෙනු ලැබීය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහගේ උපදෙස් අනුව එම සේනාංකය යටතේ ස්ථාපිත 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 11 වන ගැමුණු හේවා බලකායේ, 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මේ සඳහා ශ්‍රමදායකත්වය සහ වෘත්තීමය දැනුම සැපයූ අතර ඔවුන්ගේ කැපවිම මත නියමිත දිනට පෙර මෙම ව්‍යාපෘතිය නිමකිරීමට හැකිවිය.

2015 වසරේ මුල්භාගයේ දී යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව අවශ්‍යතා සහිත පවුල් සහ සෙබලුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද තවත් සුබසාධන කටයුත්තක් ලෙස මේ වන විට දිවයින පුරා නිවාස රැසක් ඉදිකර ඇත.

පූජ්‍ය බෝගම්බර රතනජොති ස්වාමින් වහන්සේ ඇතුලු තවත් බෞද්ධ ස්වාමින් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පැවති ඉදිකරණ ලද මෙම නිවාස ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කිරිමේ උත්සවය සඳහා වෛද්‍ය අරුණජිත් පිරිස් ඇතුලු ඔහුගේ පවුලේ සාමාජිකයින්, වන්නි ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් මෙම ව්‍යාපෘති සම්බන්ධිකරණය කළ බි.එච්.එම්.ඒ. විජේසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ. මෙහි එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 04 ක් වැය වි ඇත.

සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පිත්තපටිය කපමින් සම්ප්‍රදායානුකූල එම ප්‍රතිලාභීන් විසින් තම නිවෙස්වලට ගේවැදුණු අතර, මෙම අවස්ථාව සඳහා සිරි ධම්මාරාම විහාරයේ දායක සභාව සහ එහි සමාජසේවා පදනමේ නියොජිතයින්, යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.

තවද, එහිදි 62 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මුළුතැන්ගෙයි උපකරණ ඇතුලු තවත් අවශ්‍ය උපකරණ සහිත ත්‍යාග පාර්සල් නිවැසියන් වෙත ලබාදුන් අතර, වෙහෙරතැන්න නැවත පදිංචි කළ ගම්මානයේ විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Mysneakers | New Releases Nike