Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2016 09:38:40 Hours

නව වාර්තා සමඟින් ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016’ නිමාවේ

ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 කගේ සහභාගීත්වයෙන් 19 වන වරට පැවැත් වූ ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 සිකුරාදා (14) පස්වරුවේ දියගම ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් අවසන් විය.

තෙදිනක් පුරාවට පවත්වන ලද මෙම ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා පැරාලිම්පික් කමිටුවේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.

මලල ක්‍රීඩා ඉසව් 120 කින් සමන්විතව දින තුනක් පුරා පැවති මෙම තරගාවලිය සඳහා රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 250 ක් සහභාගී වූ අතර, යගුලිය විසිකිරීම, උස පැනීම, දුර පැනීම, තුන්පිම්ම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම හා මීටර් 100, මීටර් 200 හා මීටර් 800 ආදි තරඟ ඉසව් තුලින් නව තරඟ වාර්තා බිහිකිරීමට සමත්විය.

එහිදි යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පි.එම්.ආර්. බණ්ඩාර විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

යුද හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය - 2016 ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාව හිමි කර ගත් අතර, අනුශුරතාවය ගජබා රෙජිමේන්තු වෙත හිමි විය. තවද, රියෝ පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී සැරයන් දිනේෂ් ප්‍රියන්ත මෙම වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස ඇගයීමට ද ලක් කෙරිනි.

යුද හමුදා ධජය, රෙජිමේන්තු ධජයන් සහ පැරා ක්‍රීඩා ධජයන් ලෙළදෙමින් තිබූ එම ක්‍රීඩාංගනය, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණීමත් සමඟ පැවති තුර්යවාදන හා සරඹ සංදර්ශනයන්වලින් අනතුරුව අවසන් දිනයේ වැඩසටහන සඳහා සුදානම් කෙරිනි.

මෙම තරඟාවලියේ ජයග්‍රහකයින් සඳහා කුසලාන,පදක්කම් සහ සහතිකපත් පිරිනැමිම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සහ අනුග්‍රාහක සමාගමේ නියෝජිතයෙකු වෙත ඇරයුම් කරන ලදි.

එහිදි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සමාප්ති උත්සවය අමතමින් යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුව විසින් මෙම වසරේ දී ඉතා සාර්ථක අයුරින් පැරා ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම පිළිබඳ මහත් ඇගයීමට ලක් කළහ. එසේම යුද හමුදාපති විසින් යුද හමුදා පැරා ක්‍රීඩකයින් යුද හමුදාවට කිර්තීයක් ලබාදෙමින් දේශීය සහ විදේශීය වශයෙන් පිළිගැනීමට ලක්වීම පිළිබඳව ද සිය සුභ පැතුම් එක් කරන ලදි.

ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල 2016 හි නිල අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කළ අතර, එහි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා ද එම සමාගම නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

1991 වසරේ දී ආරම්භ කරන ලද ‘යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල’ මේ වන විට යුද හමුදා ක්‍රීඩා දින දර්ශනයේ වාර්ෂිකව පැවැත්වෙන විශේෂාංගයක් බවට පත්ව ඇත. එමෙන්ම මෙම වසරේ පැරා ක්‍රීඩා උළෙල බදාදා (12) දින ආරම්භ විය.

මෙම සමාප්ති උළෙල සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික නිලධාරීන්, අනුග්‍රාහක සමාගමේ නියෝජිතයින් මෙන්ම සෙසු නිලයින් සහ ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ.

best shoes | THE SNEAKER BULLETIN