Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2025 19:05:03 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සිරි දළඳා වන්දනාව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරයි

2025 අප්‍රේල් මස 18 දින සිට ආරම්භ කිරීමට නියමිත ශ්‍රී දළඳා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා සූදානම් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ උපදෙස් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ අධීක්‍ෂණය හා මඟපෙන්වීම මත ශ්‍රී දළඳා මාලිගාව වෙත පැමිණෙන බැතිමතුන් වෙත අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු සූදානම් කරමින් පවතී.

ඒ අනුව, ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය පිරිසිදු කිරීම, බැතිමතුන් සඳහා අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් සැපයීම සහ බැතිමතුන් මාළිගා පරිශ්‍රයට යොමුකිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශ මාර්ග සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී.

2025 අප්‍රේල් මස 12 දින වනවිට, ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ සනීපාරක්‍ෂක කටයුතු සඳහා අවශ්‍ය ජංගම වැසිකිළි 135 කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර, යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දැනුම මත ගමන් මළු තබන ස්ථාන 5 ක්, වර්ෂාව පැවැත්වෙන අවස්ථාවන්හි ආවරණය වීමේ ස්ථාන සහ ආබාධිත බැතිමතුන් සඳහා විශේෂ ප්‍රවේශ මාර්ග මේ වනවිටත් ඉදිකර ඇත. තවද, පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා අවශ්‍ය ලී මේස 100 කට ආසන්න ප්‍රමාණයක් ද සූදානම් කර ඇත.

මේ අතර, 2025 අප්‍රේල් මස 17 දින සිට සිරි දළඳා වන්දනාව සඳහා බැතිමතුන්ගේ පැමිණීම අපේක්‍ෂා කරන අතර, මෙම පුණ්‍යෝත්සවය සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්‍ෂක කටයුතු ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සූදානම් කර ඇත.