Header

Sri Lanka Army

Defender of the Nation

10th April 2025 13:53:39 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 144 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 144 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් 2025 අප්‍රේල් මස 01 දින ආගමික වතාවත්වලට ප්‍රමුකත්වය ලබාදෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව සැමරුම් උත්සවයක් පැවැත්වීය.

උත්සව අවස්ථාව සඳහා බලසේනා මූලස්ථානය වෙත පැමිණි සේනාවිධායක වෙත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පිරිනැමීය. අනතුරුව, සියළු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ සේනාවිධායක එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම සංවත්සර සැමරුමට සමගාමීව, 2025 මාර්තු මස 24 දින, හංවැල්ල අප ස්වාමිදූගේ දේවස්ථාන පරිශ්‍රයේදී එම දේවස්ථානයේ ගරු පියතුමන් විසින් විශේෂ දේව මෙහෙයක් පවත්වන ලද අතර, එදින සන්ධ්‍යාවේ හංවැල්ල ජුම්මා මස්ජිඩ් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන මවුලවිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම දේවස්ථානයේ දී විශේෂ යාඥාවක් ද සිදුකෙරිණි.

සංවත්සර සැමරුම වෙනුවෙන් 2025 මාර්තු මස 27 දින පිරිත් සජ්ඣායනාවක් පවත්වා මහා සංඝරත්නය උදෙසා දානය පූජාකරන ලදී.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව, 2025 මාර්තු මස 25 දින සඳ සෙවණ වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර 2025 මාර්තු මස 26 දින එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය. මෙම සංවත්සර සැමරුම් උත්සවයේ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.