Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2025 09:43:38 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වර්ෂ 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එම්.එන් කුලසේකර RWP RSP psc 2025 අප්‍රේල් මස 08 දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.එම්.එන් කුලසේකර RWP RSP psc වර්ෂ 1991 නොවැම්බර් මස 17 දින කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 09 යටතේ රත්මලාන, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, වර්ෂ 1993 නොවැම්බර් මස 22 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2025 ජනවාරි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 අප්‍රේල් මස 16 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් සේවා කාලය තුළ, 9 බලඇණිය ගැමුණු හේවා බලකායේ ඛණ්ඩභාර නිලධාරි සහ නිලධාරි අණදෙන, 1 සහ 9 බලඇණිය ගැමුණු හේවා බලකායන්හි නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ නිලධාරි උපදේශක, 22 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පුහුණු), ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ විධායක අධිකාරි, 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යයේ නියුක්ත ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධ සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (වෘත්තීය සැලසුම්), මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්යයේ නියුක්ත නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු (විදේශ), 222 පාබල බලසේනාව සහ 122 පාබල බලසේනාවන්හි බලසේනාධිපති සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධීකරණ නිලධාරි වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි, මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් රණ වික්‍රම පදක්කමෙන් තෙවරක් සහ රණශූර පදක්කමෙන් තෙවරක් පිදුම් ලබා ඇත.

සිය හමුදා දිවිය තුළ මූලික බුද්ධි නිලධාරින්ගේ පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සාමසාධක පූර්ව ස්ථානගත කිරීමේ පුහුණු පාඨමාලාව සහ අණ හා මාණ්ඩලික පාඨමාලාව, තරුණ නිලධාරි උපායමාර්ගික පාඨමාලාව - පාකිස්ථානය, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම යුද්ධ හමුදා දිවිය තුළ දී ඉන්දියාවේ දේවි අහිල්‍යා විශ්වවිද්‍යාලය තුළින් ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, සයන්ස් ලෑන්ඩ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (පුද්ගලික) සමාගම තුළින් කාර්යාල ස්වයංක්‍රීයකරණ පද්ධති පිළිබඳ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන අරමුදල් සමාගම (SDFL) වෙතින් ලබාදෙනු ලබන ඉංග්‍රීසි ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය තුළින් කලාවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන) සහ කොළඹ විශ්වවිද්‍යාලය තුළින් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇතුළු උසස් අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් ලබා ඇත.