Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2025 09:54:06 Hours

ජාත්‍යන්තර බිම්බෝම්බ පිළිබඳව දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකාව තුළ පැවති තිස් වසරක යුද්ධයේදී යොදාගත් බිම් වෙඩි කෙත් හේතුවෙන් දූෂ්‍යකරණයට ලක්වූ ප්‍රදේශයන්හි පාසල්වල ළමුන් සඳහා බෝම්බ සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ජාත්‍යන්තර බිම්බෝම්බ පිළිබඳව දැනුවත් කිරීමේ දිනයට සමගාමීව අප්‍රේල් මස 04 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස 10 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව වෙතින් යා/පලාලි උතුර දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් 195 දෙනෙකු සඳහා බිම්බෝම්බ, පුද්ගල නාශක බෝම්බ, මානුෂීය මෙහෙයුමේදී භාවිත කළ පුපුරණ ද්‍රව්‍යවල අවශේෂ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍යවල විනාශකාරී ප්‍රතිඵල පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම සහ කාන්තා බලකායේ බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම විසින් ඇතාවැටුණුවැව, විද්‍යාලයේදී පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ අධ්‍යාපන වැඩසටහනක් පැවැත්වීය.

මෙම වැඩසටහන මඟින් යුද සමයේ භාවිතා කල පුපුරණ ද්‍රව්‍යවල අවශේෂ වලින් සිදුවිය හැකි අනතුරු පිළිබඳවත්, එම අනතුරු වලින් ආරක්‍ෂාවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්, එසේ සැක සහිත ද්‍රව්‍යයන් හඳුනාගෙන ඒවා වාර්තා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙන්ම එමඟින් සිදුවිය හැකි අනතුරු වල අවදානම අවම කිරීමේ ඇති හැකියාව පිළිබඳවත් සිසුන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සිදුකරන ලදී.

දශක ගණනාවක මානුෂීය බෝම්බ ඉවත් කිරීමේ අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා බෝම්බ ඉවත් කිරීමේදී සහ වින්දිතයින්ට සහය දැක්වීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ලබයි. මෙම වැඩසටහන් මාලාව සඳහා අධ්‍යාපනික ප්‍රදර්ශන, සජීවී බෝම්බ ඉවත් කිරීමේ නිදර්ශණ සහ පාසල් සිසුසිසුවියන්, සිවිල් සමාජ කණ්ඩායම් සහ රාජ්‍ය ආයතනයන්හි කාර්යය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළත් විය.