04th April 2025 22:16:40 Hours
අභිනවයෙන් ගුවන් හමුදාධිපති ධූරයේ රාජකාරීන් භාරගනු ලැබූ එයාර් මාර්ෂල් වී.බී එදිරිසිංහ WWV, RWP, RSP and three Bars, USP, fndu(China), psc, qhi 2025 අප්‍රේල් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි නව ගුවන් හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞවරචාරය පිරිනමන ලදී. අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc විසින් එතුමන්ව පිළිගෙන යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත කැටුව යන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී නව ගුවන් හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වා දුන් අතර, පසුව සමූහ ඡායාරූපයක් සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් සහ නව ගුවන් හමුදාධිපතිතුමන් අතර පැවති සුහද හමුවේදී, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, හමුදාවන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළහ.
අභිනවයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ නව ගුවන් හමුදාධිපතිතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභපැතුම් එක්කිරීමෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය.