Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2025 06:52:29 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ පැවති වෛද්‍ය කඳවුරෙහි නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් කුරුණෑගල ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 මාර්තු මස 28 දින පන්ගොල්ල, අභිමංසල - 3 සුවතා නිකේතනයේ දී අදියර III යටතේ වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ද සහභාගි විය. එම සුවතා නිකේතන පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙනයාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc, විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෛද්‍ය කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙමින් එහි කටයුතු විමසා බැලීය, එහිදී එතුමන් රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම වෛද්‍ය කඳවුර මඟින් රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන් 1000 දෙනෙකුට පමණ ප්‍රතිලාභ හිමිවූ අතර, එහිදී අවශ්‍ය කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ ලබාදීම මෙන්ම සෞඛ්‍ය උපදේශනය, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ නඩත්තුව පිළිබඳව උපදේශනය, මානසික සෞඛ්‍ය උපදේශනය, සෞඛ්‍යයමත් ජීවිතයක් සඳහා ආහාර ලබාගැනීමේ රටාවන් පිළිබඳ උපදේශනය ඇතුළු චර්ම රෝග සහ දන්ත විශේෂඥ වෛද්‍ය සායනයන් ද මෙහිදී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.