Header

Sri Lanka Army

Defender of the Nation

07th March 2025 18:48:10 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණකර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ RSP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී සහ පශ්චාත් යුද සමයේදී අභියෝගාත්මක භූමිකාවන්හි නිරත වෙමින් දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය පැසසුමට ලක්කළේය. තවද, විශ්‍රාම දිවියට එලඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ RSP දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාරි මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම යුද්ධ හමුදා සේවා කාලය තුල ඉහළ තනතුරු රැසක් හොඹවා ඇති අතර, ක්‍රමානුකූලව උසස්වීම් ලබා 2023 අගෝස්තු මස 19 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 මාර්තු මස 12 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි, විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක යන ධූරයන් හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි තම කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 1 විශේෂ බලකායේ කණ්ඩායම් භාර නිලධාරි, 1 විශේෂ බලකායේ නිලධාරි අණදෙන, 2 විශේෂ බලකායේ විධායක අධිකාරි, 2 විශේෂ බලකායේ පාලන බලඝණයේ නිලධාරි අණදෙන, 3 ශ්‍රී ලංකා හමුදා සේවා බලකායේ සැපයුම් බලඝණයේ දෙවන අණදෙන නිලධාරි, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම්), වැලිඔය - 333 සංයුක්ත බලඝණයේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 2 (පරිපාලන), 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සැපයුම් බලඝණයේ නිලධාරි අණදෙන, 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ පරිපාලන බලඝණයේ නිලධාරි අණදෙන, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, මරදාන ස්වාධීන ප්‍රවාහන බලඝණයේ නිලධාරි අණදෙන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි කාර්යයේ නියුක්ත මාණ්ඩලික නිලධාරි 1 (සැපයුම්), යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක, 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි, 53 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (භඨකාර්ය සම්පාදන), ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් (පාලන සහ භඨකාර්ය සම්පාදන), යුද්ධ හමුදා මූලස්ථානයේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් යන ධූරයෙන් හෙබවීය.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

එතුමන්ගේ කීර්තිමත් හමුදා දිවිය තුළදී, විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, මූලික පරිගණක පාඨමාලාව, ඒකක පරිපාලන නිලධාරි පාඨමාලාව යන දේශී්ය පාඨමාලාවන් සහ යුද්ධ හමුදා සේවා බලකා තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, කමාන්ඩෝ පුහුණු පාඨමාලාව - ඉන්දියාව, උසස් ඛනිජ තෙල් පාඨමාලාව - පාකිස්ථානය, යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායම් අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ යුද්ධ හමුදා සේවා බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව යන විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.