Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2025 22:43:03 Hours

ගින්නකට හසුවූවන්ගේ ජීවිත බේරාගත් යුද්ධ හමුදා වෛද්‍යවරයාගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පදිංචි මේජර් (වෛද්‍ය) පී.ජී රාමුක්කන ගේ නිවස ඉදිරිපිට ඇති නිවසක් තුළ 2025 පෙබරවාරි මස 18 දින අළුයම ගින්නක් ඇති වූ අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිර්භීතකම සහ වෛද්‍ය වෘත්තීය දැනුම තුළින් ගින්නට හසු වූ නිවසේ පදිංචිකරුවන්ගේ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබිණි.

ගින්න පැතිරෙන අවස්ථාවේ එම නිවසේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු සහ ඔහුගේ දියණිය රැඳීසිටියහ. එහිදී, එම දියණිය පිළිස්සුම් තුවාල ලබා ඇති අතර පියා දුම් හා ගිනිදැල් වලට නිරාවරණය වීම හේතුවෙන් හෘදයාබාධයකට භාජනය වී ඇත.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන සහ දැඩිසත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිලධාරි මේජර් පී.ජී රාමුක්කන එම ස්ථානයට කඩිනමින් පැමිණ සිය වෛද්‍ය වෘත්තීමය දැනුම තුළින් හෘද සම්බාහනය සිදුකර පරිපූරක වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණීමට ප්‍රථම එම ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළහ. පසුව, එතුමන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගිලන් රථයක් මඟින් කළුබෝවිල, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත එම රෝගියා රැගෙන යනු ලැබීය.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කඩිනම් හා තීරණාත්මක මැදිහත්වීම හේතුවෙන් ගින්නට හසුවූවන්ගේ ජීවිත බේරාගැනීමට සහ තවදුරටත් සංකූලතාවයන් ඇතිවීම වළක්වා ගැනීමටත් හැකියාව ලැබිණි.

හදිසි අවස්ථාවන්හිදී කඩිනම් වෛද්‍ය ප්‍රතිකාරයන් ලබාදීමේ වැදගත්කම, රාජකාරියෙන් තොර අවස්ථාවන්හිදී සිය කැපවූ සේවය ලබාදීම සඳහා යුද්ධ හමුදා වෛද්‍ය වෘත්තිකයන්ගේ කැපවීම ද මෙම සිදුවීම තුළින් මනාව පිළිබිඹු කරයි.