Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2025 09:54:22 Hours

ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ සෙබළුන් 421 දෙනෙකු විසිරයයි

පුත්තලම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 421 දෙනෙකු මාස හයක කාලසීමාවක් පුරාවට සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර 2025 පෙබරවාරි මස 14 දින පැවති උත්සවයකදී හමුදා සම්ප්‍රදායානුකූලව විසිර ගියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් ආර්.ජේ.එන් සුබසිංහ IG ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP සහභාගි විය. පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම උත්සවය අතරතුරදී, පාඨමාලාවේ දක්‍ෂතම ආධුනික සෙබළා, හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබළා සහ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානයන් පිරිනැමිණි. අභිනවයෙන් විසිරගිය ආධුනික සෙබළුන් කැපවූ සේවය සහ හමුදා සම්ප්‍රදායන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු වෙත අනුයුක්ත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ විසිරගිය ආධුනික සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් ද සහභාගි වූහ.