Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2025 13:14:03 Hours

විශ්‍රාම දිවියට පා තබන රෙජිමේන්තු අධිපතිතුමන්ට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හට ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 පෙබරවාරි මස 8 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි එතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. අනතුරුව, එතුමන් රණවිරු ස්මාරකය අභියසදී එම රෙජිමේන්තුවේ දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

පසුව, සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ එතුමන් එම අවස්ථාව සඳහා සහභාගි වූවන් සමග සුහද පිළිසඳරක ද නිරතවිය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, පැවති රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ සුරතින් විශ්‍රාම ලබන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට රෙජිමේන්තු මණ්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, එම රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරින් සහ විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සහ විශේෂ අමුත්තන්ද සහභාගි වූහ.