Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2025 20:21:49 Hours

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා පිටත්ව යාමට නියමිත 11 වන වෛද්‍ය කණ්ඩායම විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර දක්වයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 11 වන වෛද්‍ය කණ්ඩායමට වේරහැර ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සුබ පැතුම් පිරිණැමීමේ උත්සවයක් 2025 ජනවාරි මස 31 දින පැවැත් විය.

11 වන වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත පිරිනමන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී එන්පීඑස්සී විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගත් අතර, සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමට පෙර හමුදාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ධජය දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා පිටත්ව යන 11 වන වෛද්‍ය කණ්ඩායමේ අණදෙන නිලධාරීතුමන් වෙත පිරිනමන ලදී. එමගින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන කණ්ඩායම එම මෙහෙයුම සඳහා සූදානම් බවත් එම වගකීම් භාරගැනීමට සූදානම් බවත් පිළිබිඹූ කරයි.

මෙම කණ්ඩායමට අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ආර්.එම්.ඩී.බී. රාජපක්‍ෂ යූඑස්පී, දෙවන අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් කේ.ඩී.පී. ද ඒ විජේසිංහ සමඟින්, යුද්ධ හමුදා නිලධාරින් 18 දෙනෙකු, නාවික නිලධාරින් 02 දෙනෙකු සහ සෙසු නිලයින් 46 දෙනෙකු ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයින් 64 දෙනෙකුගෙන් සමන්විත වේ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් භටපිරිස් අමතමින් සිය සුභ පැතුම් එක්කරමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වැනි විදේශීය මෙහයුම් වලින් රටට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඇති වැදගත් කම පිළිබඳව මෙහිදී දැනුවත් කරන ලදී.

ඒ අනුව දකුණු සුඩානයේ ස්ථානගත කර ඇති 10 වන වෛද්‍ය කණ්ඩායම නව කණ්ඩායම වෙත රාජකාරීන් භාර දීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට ආපසු පැමිණිමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.