Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2025 15:36:01 Hours

රුසියානු සමූහාණ්ඩුවේ ඉහළ පෙළ දූත පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව සඳහා වන ප්‍රධාන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී මේජර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් ඉවානොවිච් සින්චෙන්කෝ ගේ මඟපෙන්වීම මත ඉහළ පෙළ රුසියානු හමුදා දූත පිරිසක් 2025 ජනවාරි මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේ, මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවක් සඳහා සහභාගි වූහ.

2025 වර්ෂය සඳහා රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්‍ෂක සහයෝගීතාව සඳහා වන ක්‍රියාකාරී සැලසුම සබැඳිව තීරණ ගැනීම පිළිබඳව අවධානය යොමුකරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි. මේජර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් ඉවානොවිච් සින්චෙන්කෝ සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානආරච්චි මහතා මෙම සාකච්ඡාවේ සම සභාපතිත්වය දරනු ලැබූහ. ද්විපාර්ශ්වික හමුදා සබඳතා ප්‍රවර්ධනය කිරීමේදී සහ දෙරට අතර උපායමාර්ගික සබඳතාවයන් වැඩිදියුණු කිරීමේදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්හි ඇති වැදගත්කම පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදතාවය මෙන්ම අඛණ්ඩ සහයෝගීතාවය සඳහා වන කැපවීම සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි නියෝජිතයන් පිරිසක් ද සහභාගි වූහ.

මෙම රාජ්‍යතාන්ත්‍රික කටයුතු රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලබන අතර, අන්‍යෝන්‍ය ආරක්‍ෂාව සහ උපායමාර්ගික සහයෝගීතාව සඳහා දෙරටෙහි කැපවීම ඒ තුළින් තහවුරු කරනු ලබයි.