Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2025 05:57:46 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුඳුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් බී.අයි අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී පීටීඑස්සී 2025 ජනවාරි මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් බී.අයි අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී පීටීඑස්සී විසින් මානුෂීය මෙහෙයුමේදී මෙන්ම පශ්චාත් යුද සමයේදී සිදුකළ සේවය පිළිබඳව පැසසුමට ලක්කළේය. සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය මේජර් ජෙනරල් බී.අයි අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී පීටීඑස්සී ගේ පවුලේ සාමාජිකයන් වෙත පුදකළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 නොවැම්බර් මස 12 දින කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 08 යටතේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුළත් වූ මේජර් ජෙනරල් බී.අයි අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී පීටීඑස්සී රත්මලාන, ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2024 පෙබරවාරි මස 16 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 පෙබරවාරි මස 04 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි. විශ්‍රාම ලබන විට එතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය හෙබවීය.

සිය වෘත්තීය දිවිය තුළදී එතුමන්, 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩභාර නිලධාරි, 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ සී ඛණ්ඩයේ නිලධාරි අණදෙන, මන්නාරම- අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩයේ ඛණ්ඩභාර නිලධාරි, සංඥා පුහුණු පාසලේ උපදේශක, 51 පාබල සේනාංකයේ සංඥා නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි අංශයේ නිලධාරි උපදේශක, 54 පාබල සේනාංකයේ සංඥා නිලධාරි, 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ සන්නිවේදන බලඝණයේ නිලධාරි අණදෙන වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

එමෙන්ම, 52 පාබල සේනාංකයේ සංඥා නිලධාරි, 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ විධායක අධිකාරි, 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරි අණදෙන, පනාගොඩ සංඥා මූලික වැඩපළේ මාණ්ඩලික නිලධාරි II, 1 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ මූලස්ථාන/සන්නිවේදන බලඝණයේ නිලධාරි අණදෙන, 1 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ/මාණ්ඩලික රාජකාරි) සහ 7 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරි යන ධූරයන් ද එතුමන් විසින් හොබවා ඇත.

මේ අතර, 7 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ වැඩබලන අණදෙන නිලධාරි, 51 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (දුක්ගැනවිලි), යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (විමර්ශන), 5 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, සංඥා පුහුණු පාසලේ සේනාවිධායක, ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක, 543 පාබල බලසේනාවේ බලසේනාධිපති, සංඥා බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ දේශසීමා අවදානම් තක්සේරු කිරීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සහ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ධූරයන් රැසක් එතුමන් විසින් හොබවා ඇත.

එතුමන්ගේ නොකැළැල්, කීර්තිමත් සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් එතුමන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

සිය වෘත්තීය දිවිය තුළදී එතුමන්, මූලික පරිගණක පාඨමාලාව සහ යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව වැනි දේශිය පාඨමාලාවන් මෙන්ම තරුණ නිලධාරි (සංඥා) විශේෂ මූලික පාඨමාලාව - පාකිස්තානය, ප්‍රජාපාදක ආපදා අවදානම් කළමනාකරණ පුහුණු පාඨමාලාව - කෙන්යාව, 19 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පාඨමාලාව - චීනය, එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ පාඨමාලාව - ජපානය සහ තාක්‍ෂණික මාණ්ඩලික විද්‍යාල පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.

මීට අමතරව, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා ලෝක කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (ආරක්‍ෂක අධ්‍යයන) සහ ඉන්දියාවේ, පූනේ, සාවිත්‍රිබායි, ෆුලේ විශ්වවිද්‍යාලය තුළින් හමුදා තාක්‍ෂණය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධියක් ද ලබාගෙන ඇත.