23rd January 2025 17:35:51 Hours
ඉංජිනේරු සේවා බලකායේ අභිමානවත් 75 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සැමරුම් උත්සවය ආරම්භ කරමින්, ඉංජිනේරු සේවා බලකා මූලස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන්ව එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම්. පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, එතුමන් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළේය.
පසුව, එතුමන් ඉංජිනේරු සේවා බලකා භටපිරිස් විසින් පිරිනමනු ලැබූ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලිය පරික්‍ෂා කරනු ලැබීය. එම අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ හිටපු කර්නල් සේනාවිධායකවරුන් සහ මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් ද සහභාගි වූහ. ඉංජිනේරු සේවා බලකායේ එකමුතුකම සහ අභිමානය විදහා දක්වමින් එම රෙජිමේන්තු නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමන් සහභාගි විය.
ඉන් අනතුරුව, මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූවන් නිලධාරි නිවස්නය, බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය සහ සෙසුනිල භෝජනාගාරයේ පැවති සුහඳ තේ පැන් සංග්‍රහයන් සඳහා ද සහභාගි වූහ. සැමරුම් උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් වශයෙන් එම රෙජිමේන්තුවේ ප්‍රෞඪ ඉතිහාසය සනිටුහන් කරමින් කේක් කැපීම සිදුකෙරිණි.
පසුව, නිලධාරින් ආමන්ත්‍රණය කළ කර්නල් සේනාවිධායකතුමන් ඔවුන්ගේ කැපවූ සේවය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය. ජාතික ආරක්‍ෂාව සඳහා ඉංජිනේරු විශේෂඥතාවයේ අඛණ්ඩ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන් එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රියාන්විතයන් සඳහා සහය දැක්වීමේදී එම රෙජිමේන්තුවේ වැදගත් කාර්යභාරය පිළිබඳව ද පෙන්වා දුන්නේය.
එම රෙජිමේන්තුවේ භටපිරිස් සමඟින් දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ කර්නල් සේනාවිධායකතුමන් එහිදී සියළු නිලයන් ආමන්ත්‍රණය කරමින් ඉංජිනේරු සේවා බලකා සාමාජිකයන්ගේ ජයග්‍රහණයන් මෙන්ම විශිෂ්ටත්වය සහ සේවාව සඳහා බලකායේ කැපවීම පිළිබඳව ඇගයීමට ලක්කළේය.
සංවත්සර සැමරුම් උත්සවය සඳහා ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.