19th January 2025 10:44:00 Hours
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ මඟපෙන්වීම මත දිවයින පුරා ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය වෙතින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ අනුව, වී මිලදී ගැනීමෙන් පසුව ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩාවන් 209 ක් භාවිතා කිරීමට ද රජය සැලසුම් කරමින් පවතී.
මෙම වී ගබඩාවන් සහ ඒ අවට පරිශ්‍රයන් දීර්ඝ කාලයක් පුරාවට භාවිතයට නොගැනීම හේතුවෙන්, එම වී ගබඩාවන් භාවිතයට ගැනීමට පෙර පිරිසිදු කොට ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතී. ආරක්‍ෂක ලේකම්තුමන්ගේ උපදෙස් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත මෙම ජාතික අවශ්‍යතාවය සපුරාලීම සඳහා සහය දැක්වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් සූදානම්ව සිටියි.
ඒ අනුව, 2025 ජනවාරි මස 18 දින සිට 2025 ජනවාරි මස 27 දින දක්වා සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙතින් දිවයින පුරා වී ගබඩාවන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහනේ එක් අදියරක් වශයෙන් 2025 ජනවාරි මස 18 දින යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වී ගබඩා පහසුකම් කිහිපයක පිරිසිදු කිරීමේ කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.
මේ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී හා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.පී.එම්. බාලසූරිය ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 7 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 20 දින උපුල්දෙණිය වී ගබඩා පරිශ්‍රය පිරිසිදු කරන ලදී.