Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2025 10:44:10 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එම්.සී.පී. විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී 2025 ජනවාරි මස 17 දින එම සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් එතුමන් එම සේනාංක මූලස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.

ඉන් අනතුරුව, එතුමන් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බෞද්ධ, කතෝලික, ඉස්ලාම් සහ හින්දු ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.

පසුව, නව සේනාංකාධිපතිතුමන් එම සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට සහභාගි වීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් 54 පාබල සේනාංක මූලස්ථානයේ කාර්යාල සංකීර්ණය අභියසදී අඹ පැළයක් රෝපණය කළේය.

අනතුරුව, නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ නව සේනාංකාධිපතිතුමන් එතුමන්ගේ රාජකාරි විෂය පථය පැහැදිළි කර ඉහළ විනයක් පවත්වාගනිමින් කැපවීමෙන් රාජකාරි ඉටුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳ පෙන්වාදුන්නේය. පසුව, සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගි විය.

54 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් පවත්වනු ලැබූ සවිස්තරාත්මක දැනුවත් කිරීමේ වැඩසටහනකට ද එතුමන් සහභාගි විය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් නිලධාරි නිවස්නයේදී පැවති දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 541, 542 සහ 543 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.