17th January 2025 15:32:21 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ 18 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී 2025 ජනවාරි මස 16 දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස්. ලියනගුණවර්ධන විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය. හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.
ඉන් අනතුරුව, නව බලකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ. පසුව, සියළු නිලයන් ආමන්ත්‍රණය කළ බලකාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එළිදැක්වූ ‘සොල්දාදුවන් කේන්ද්‍ර කරගත් යුද්ධ හමුදාව’ තේමාවට සමානුපාතිකව එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිළි කළේය. මෙම දේශනය සඳහා විවිධ ප්‍රදේශයන්හි පිහිටි යුද්ධ හමුදා කඳවුරු තුළ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගී වූහ.
සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී එතුමන් නිලධාරින් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.