15th January 2025 15:51:08 Hours
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජනවාරි මස 15 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.
මෙම සුහද හමුවේදී, නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී මානුෂීය මෙහෙයුමේදී මෙන්ම පශ්චාත් යුද සමයේදී සිදුකළ සේවය පිළිබඳ පැසසුමට ලක්කළේය. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පවුලේ සාමාජිකයන් වෙත පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ.
වර්ෂ 1990 නොවැම්බර් මස 3 දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 08 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී රත්මලාන, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරනු ලැබීය.
වෘත්තීය දිවිය තුළදී ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2024 මැයි මස 3 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජනවාරි මස 18 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි. විශ්‍රාම ලබන විට එතුමන් 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු හෙබවීය.
සිය වෘත්තීය දිවිය තුළදී එතුමන්, 1 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කණ්ඩ භාර නිලධාරි, 1 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආධුනිකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ උපදේශක, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කණ්ඩ භාර නිලධාරි, පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරි උපදේශක, 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 112 පාබල බලසේනාවේ කලාප අණදෙන නිලධාරි, ගජබා රෙජිමේන්තු කොහුවල පසු මූලයේ නිලධාරි අණදෙන, 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කර ඇත.
තවද, එතුමන් 14 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම්), ආරක්‍ෂක සේනා මූලස්ථානය -කිලිනොච්චි කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 523 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 212 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ පුහුණු හා මූලධර්ම, යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති සහ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණ ශූර පදක්කමෙන් දෙවරක් පිදුම් ලබා ඇත.
මීට අමතරව, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් නිලධාරීන්ගේ මෝටර් රථ ප්‍රවාහන පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව (ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය - චීන වරාය), තරුණ නිලධාරීන්ගේ උපාය මාර්ගික පාඨමාලාව - පාකිස්ථානය, බංග්ලාදේශයේ නිරායුධකරණය, බලමුලු ගැන්වීම සහ නැවත ඒකාබද්ධ කිරීමේ පාඨමාලාව සහ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව වැනි විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.