Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2025 10:57:56 Hours

අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන සූදු සහ ක්‍රීඩාවල ප්‍රතිවිපාක පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් දැනුවත් කිරීමේ දේශනයක්

අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන සූදු සහ ක්‍රීඩාවන් සමාජය තුළ සුලභ වීම සහ එවැනි ක්‍රියාවන්වල ඉතා පහසුවෙන් නියැලීමට හැකිවීම නිසාත් මෑත කාලීනව මෙවැනි සූදු සහ ක්‍රීඩාවන් සමාජය තුළ ඉතා ජනප්‍රිය විය. එසේ වුවද මෙම ක්‍රීඩාවන් මේ වන විට සමාජයට ඉතා හානිකර තත්ත්වයක් ඇති කරමින් පවතින අතර, යුද්ධ හමුදා සාමාජිකයන් අතරද මෙම ක්‍රීඩාවන් බහුලව ව්‍යාප්ත වෙමින් පවතී. මෙහි කාලෝචිත වැදගත්කම අවබෝධ කරගත් ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ‍ගේ මඟපෙන්වීම යටතේ අන්තර්ජාල සූදු සහ ක්‍රීඩාවන්වල ප්‍රතිවිපාක පිළිබඳව දේශනයක් සංවිධානය කරන ලදී.

2025 වසරේ පළමු පුහුණු දින වැඩසටහන ආරම්භ කරමින්, ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී විසින් දේශනය පවත්වන ලදී.

එතුමන් දේශනය පවත්වමින්, අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන සූදු සහ ක්‍රීඩා මඟින් සිදුවන හානිය පිළිබඳව අවධාරනය කරමින් එම සූදු සහ ක්‍රීඩාවල නියැලෙන්නන් විශාල වශයෙන් ජයග්‍රහණයන් හිමිකර ගැනීමට යාමෙන් සහ සිදුවන පාඩුව පියවා ගැනීමට යාමෙන් අධික ලෙස තම මුදල් වැයවීම තුළින් ඔවුන් හට ණය බර වැඩිවීම, දෛනික වියදම් කළමනාකරණය කිරීමට නොහැකි වීම සහ බංකොලොත් භාවයට පත්වීම වැනි මූල්‍යමය ගැටළු වලට මුහුණ පෑමට සිදුවීම සබැඳිව මෙන්ම මෙවැනි සූදු සහ ක්‍රීඩාවල අධිකව නියැලීම තුළින් ඔවුන්හට මුහුණ පෑමට සිදුවන නීතිමය ගැටළු, පවුල් සබඳතා ගැටළු, රාජකාරි ගැටළු, සෞඛ්‍යය ගැටළු, සියදිවි නසාගැනීම සහ සියදිවි නසාගැනීමට තැත් කිරීම වැනි තත්ත්වයන් පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

තවද, දේශනයේදී එතුමන් අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන සූදු සහ ක්‍රීඩාවන් වලට ගොදුරු නොවීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.

මෙම පුහුණු දින වැඩසටහන ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.ආර්.ජේ. බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අධීක්‍ෂණය කරන ලද අතර, මෙම දේශනය සඳහා නිලධාරින් 20 දෙනෙකු සහ සෙසුනිලයන් 120 දෙනෙකු සහභාගි විය.