14th January 2025 17:58:39 Hours
තෛපොංගල් දිනයට සමගාමීව කොළඹ 06, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවති විශේෂ තෛපොංගල් පූජාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය 2025 ජනවාරි මස 14 දින සහභාගි වූහ.
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබීය.
කෝවිලේ සීනුව නාද වීමත් සමඟම යුද්ධ හමුදාධිපතිතුමන් ආශිර්වාද පතා පලතුරු පූජා වට්ටියක් පූජකවරුන් හට පූජා කළේය. අනතුරුව, ප්‍රධාන කුරුක්කල් සිවශ්‍රී රාගවන් ගේ නායකත්වයෙන් යුත් හින්දු පූජකවරුන් පිරිසක් විසින් පූජාව පැවැත්විණි. ආගමික වතාවත්වලින් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ පැවති සාම්ප්‍රදායික පොංගල් බත සෑදීමේ උත්සවයට සහභාගි විය. මෙම විශේෂ දිනය සැමරීම සනිටුහන් කරමින් කෝවිලේ අභ්‍යන්තර කුටියේදී පවත්වන ලද තෛපොංගල් පූජාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සම්බන්ධීකරණය කරන ලදී.
පොංගල් යනු හින්දු ආගමට අනුව අස්වනු නෙලීමේ උත්සවයක් වන අතර, එහිදී සාර්ථක අස්වැන්නක් ලබාගැනීම සඳහා තමන්ට උපකාර කළ සූර්ය දෙවියන්, ගව මහේෂාධීන් ඇතුළු සොබාදහම වෙත භක්ත්‍යාදරයෙන් යුතුව සිය කෘතවේදීත්වය දක්වන උත්සවයකි. දින හතරක් පුරා සමරනු ලබන මෙම උත්සවය මඟින් දමිළ භාෂාවෙන් හඳුන්වන ‘තෛ’ නම් සුභ මාසයේ ආරම්භය ද සනිටුහන් කරයි.
සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයකින් උත්සවයේ වැඩකටයුතු අවසන් වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, යුද්ධ හමුදා හින්දු සංගමයේ සාමාජිකයන් සහ හින්දු ආගමික සෙසුනිලයන් මෙම අවස්ථාවට එක්විය.