Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2025 21:08:48 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ට පමුණුගම ශාන්ත ජෝශප් දේවස්ථානයේදී උපහාර උත්සවයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 ජනවාරි මස 12 දින පමුණුගම ශාන්ත ජෝශප් දේවස්ථානයේදී පැවැත්විණි.

පමුණුගම ශාන්ත ජෝශප් දේවස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ද සහභාගි වූවාය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශුද්ධ වූ දිව්‍ය පූජා යාගයකින් අනතුරුව, උපහාර වැඩසටහනක් පැවැත්විණි. ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ලේකම් සහයක රදගුරු ජේ.ඩී. ඇන්තනි රදගුරුතුමන් ඇතුළු අනිකුත් පූජකවරුන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තාව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව, දේවගැති ගරු අමිල් ගෝමස් පියතුමාගේ පිළිගැනීමේ කථාව සහ සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීම සිදුකෙරෙණි.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ට ආශිර්වාදය එක්කරමින්, එතුමන්ගේ සහෝදරයා වන ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමා ඇතුළු අනෙකුත් පූජකවරුන් විසින් ශුද්ධ වූ දිව්‍ය පූජාව පවත්වන ලදී.

දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සියලු දෙනා අමතමින්, තම උපන් ප්‍රදේශයේ ජනතාව විසින් පිරිනමන ලද ගෞරවය වෙනුවෙන් ඔවුනට සිය කෘතඥතාව‍ය පුද කළේය.

එසේම යුද්ධ හමුදාධිපතිතුමන් සිය ළමා කාලය සිහිපත් කරමින් සිය පවුලේ සාමාජිකයන්, පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලය සහ පල්ලිය එතුමන්ගේ යහපැවැත්ම සහ ජයග්‍රහණ සඳහා හැඩගැස්වීමට ඉටු කළ සේවය ඉස්මතු කළේය. මව්බිමේ සාමය වෙනුවෙන් ජීවිතය පූජා කළ වීරෝධාර රණවිරුවන් හටද එතුමන් තම උපහාරය පුද කළේය.

පසුව, අනාගතය සඳහා පරිසරය ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කරමින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහාය දැක්වීමේ වැදගත්කම පිළිබඳවද එතුමන් අවධාරණය කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ප්‍රේමසිරි වික්‍රමසිංහ (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ස්තූති කථාව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා පූජක පක්‍ෂය, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලයේ විදුහල්පතිනි සමිතා ද සිල්වා මහත්මිය, රාජ්‍ය නිලධාරින්, ගොන්සාල්වේස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වූහ.