Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2025 14:38:30 Hours

අලුත්දිවුල්වැව වැවේ ජල කාන්දුව පාලනය කිරීමට යුද්ධ හමුදා භටපිරිස් සමත් වෙයි

අලුත්දිවුල්වැව වැවේ ජල කාන්දුවීම 2025 ජනවාරි මස 11 දින සාර්ථකව පාලනය කිරීමට හැකිවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආපදා සහන ‍සේවා වැඩසටහන්වල කොටසක් ලෙස යුද්ධ හමුදා භටපිරිස් මෙම අවස්ථාවට දායක වූහ. අධික වර්ෂාපතනය හේතුවෙන් වැව් බැම්මේ ජල කාන්දුව උග්‍ර වීම හේතුවෙන් වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. එමඟින් වැව අවට ජනතාවට අනතුරු තත්ත්වයක් උදාවිය. යුද්ධ හමුදා භටපිරිස් දින දෙකක නොනවතින උත්සාහයකින් හා කැපවීමකින් වැව්බැම්ම කැඩීයාම වලක්වාගැනීමට අවශ්‍ය පිළියම් යොදමින් ප්‍රදේශයට වියහැකි දැවැන්ත ව්‍යසනයන් වළක්වා ගත්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.එම්.පී බාලසූරිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නායකත්වය යටතේ මෙම ආපදා මෙහෙයුම සිදු කරන ලදී.

21 පාබල සේනාංකයේ ක්‍ෂණික ප්‍රතිචාර කණ්ඩායම, 212 පාබල බලසේනාවේ කැරලි මර්දන කණ්ඩායම, 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙවීම් සහ මුදාගැනීමේ කණ්ඩායම සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව එම වැව්බැම්මේ ජල කාන්දුව වළක්වා ගැනීමට කටයුතු කරනු ලැබූහ.

ගලෙන්බිඳුණුවැව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ සහයෝගයෙන් යුද්ධ හමුදා භටපිරිස් 120 කට අධික පිරිසක් අඛණ්ඩව දින දෙකක් තුල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. වැව් බැම්ම ආරක්‍ෂාව තහවුරු කිරීමට හා තවදුරටත් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා භටපිරිස් විසින් වැව් බැම්මේ වැලි කොට්ට සහ කළු ගල් අතුරන ලදී.

ආපදා කළමනාකරණය සහ ප්‍රජා සුභසාධනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැපවීම විදහා දක්වමින් කඩිනම් හා කාර්යක්‍ෂම මැදිහත්වීම තුලින් පීඩාවට පත් පවුල් 170 කට අධික සංඛ්‍යාවක් නැවත පදිංචි කර ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීමට මෙමඟින් හැකිවිය.