Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2025 09:24:23 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, 2025 ජනවාරි මස 10 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකළ අතර, අනතුරුව යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී විජේරත්න, යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී රත්නායක ආර්එස්පී සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොණරාගල යූඑස්පී ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී, එතුමන් රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතමින්, රෝහලේ කටයුතු සහ අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡා කරමින් සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ඉහළම මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා පුළුල් වෛද්‍ය පහසුකම් සැපයීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී එක්ව කටයුතු කිරීම සහ කාර්යක්‍ෂමතාවයේ වැදගත්කම පෙන්වා දෙමින් රෝහල් කාර්යය මණ්ඩලයේ කැපවීම සහ වෘත්තීයභාවය පිළිබඳව සිය කෘතවේදීත්වය පල කළේය. අනතුරුව, රෝහලේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් අඛණ්ඩ සිය සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

එම පිරිස ඇමතීමෙන් පසුව, එතුමන් අංක 05, 09, 14, 15, 17 වාට්ටු සංකීර්ණය, බාහිර රෝගී අංශය, ඖෂධ නිකුත් කිරීමේ ස්ථානය, රෝහල් සලාක ගබඩා, ආපනශාලාව, රෙදි සේදීමේ ස්ථානය, දේශීය මිලදී ගැනීමේ අංශය ඇතුළු රෝහලේ එක් එක් පරිශ්‍රයන් නිරීක්‍ෂණය කළ අතර, රෝහල් ප්‍රථිකාර කටයුතු සහ ජෛව වෛද්‍ය වැඩසටහන් සඳහා පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඉදිකරමින් පවතින මහල් 15 කින් යුත් ගොඩනැගිල්ල ද නිරීක්‍ෂණය කළේය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, එහිදී එතුමන් රෝහලේ සියලුම නිලයන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්තේය. නිල සංචාරය අවසන් කරමින්, එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.