Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2025 04:50:23 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සමඟින් 2025 ජනවාරි මස 07 දින අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

එම සුවතා නිකේතනයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් එම සුවතා නිකේතනයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලූහ. සංචාරය අතරතුරදී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් එච්.එම්.ඩබ්ලිව්.බී. ගලගෙදර ආර්එස්පී විසින් නිර්මාණය කරනු ලැබූ විශේෂ කලා කෘතියක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වීය.

අනතුරුව, පැවති සුහඳ තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් එම රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වීමෙන් පසුව මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ කාර්යභාරය අළලා සැකසූ විශේෂ වාර්තාමය වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට පෙනීසිටි යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම සංචාරය සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.