03rd January 2025 13:01:30 Hours
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය බ්‍රහස්පතින්දා (02) දින පස්වරුවේ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 150 ක් ආමන්ත්‍රණය කරනු ලැබීය.
සිය දේශනයේදී, එතුමන්ගේ වෘත්තීය දිවිය පුරාවට ලබාදුන් මඟපෙන්වීම් වෙනුවෙන් හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සිය කෘතවේදීත්වය පුදකළේය. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම් වෙනුවෙන් උපහාර පුදකළ යුද්ධ හමුදාධිපතිතුමන් ජාතියේ ආරක්‍ෂාව සහ ඒ සඳහා සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද පැහැදිළි කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘සොල්දාදුවන් කේන්ද්‍ර කරගත් සංවිධානයක්’ බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් එතුමන් සතු දැක්ම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවේදී පෙන්වාදෙනු ලැබීය. ඉලක්කගත පුහුණු වැඩසටහන් ඔස්සේ සොල්දාදුවන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීමට සහ ක්‍රියාන්විත සඳහා පවතින සූදානම වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ පහසුකම් සැපයීම සඳහා එතුමන් සතු සැලසුම් පිළිබඳවත් අවධාරණය කරනු ලැබිණි. එමෙන්ම, යුද්ධ හමුදා සේවයේ පදනම වන දේශප්‍රේමය, විනය, පක්‍ෂපාතීත්වය, අවංකභාවය, ගෞරවය, දැනුම, ධෛර්යය, නිර්භීතකම, සමඟිය සහ කැපවීම යන මූලික හර පද්ධතිය පිළිපැදීමේ වැදගත්කම පිළිබඳවත් එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්විණි.
යුද්ධ හමුදාවේ පවතින සම්පත්වල ආරක්‍ෂාව සහ කල්පැවැත්ම සහතික කරමින් කඩිනමින් සපුරාලිය යුතු උපකරණ අවශ්‍යතා පිළිබඳව ඉස්මතු කළ යුද්ධ හමුදාධිපතිතුමන් තාක්‍ෂණික ප්‍රවීණත්වයෙන් සහ සම්පත් වලින් සපිරි සන්නද්ධ බලකායක් ලෙස යුද්ධ හමුදාව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සහ සනීපාරක්‍ෂාව ඇතුළු මූලික අවශ්‍යතා සපුරාලමින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධනයට ප්‍රමුඛත්වය දෙන ලෙස වගකිවයුතු නිලධාරින්ට උපදෙස් ලබාදුන් යුද්ධ හමුදාධිපතිතුමන් විනිවිදභාවය සහ වගවීම පිළිබඳව අවධාරණය කරමින් කාර්යාල කළමනාකරණය සහ ලිපිලේඛන සබැඳි කටයුතු ක්‍රියාශීලීව සිදුකිරීමේ ප්‍රවේශය ලබාදීමටත් එතුමන් දිරිමත් කළේය.
යුද්ධ හමුදාව තුළ විනය ප්‍රමිතීන් පවත්වාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘පිරිසිදු ශ්‍රී ලංකාවක් සහ ලස්සන ජීවිතයක්’ යන ව්‍යාපෘතියට ක්‍රියාකාරී දායකත්වය ලබාදෙන ලෙසත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුවත් කළේය.
සිය දේශනය සමාප්තියේදී, නිලධාරින්ගේ ධෛර්යය, දැනුම, කැපවීම සහ දායකත්වය වැඩිදියුණු කරගැනීම පිළිබඳව මෙන්ම ජාතික, ආයතනික සහ වෘත්තීමය වගකීම්වල අපේක්‍ෂාවන් අධිෂ්ඨානශීලීව සැපිරිය යුතු බවත් එතුමන් පෙන්වාදුන්නේය.
මෙම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ක්ෂේත්‍ර අණදෙන්නන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.